අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සම්මේලනයෙන් ශ්‍රී ලංකාව උගත යුත්තේ කුමක්ද?

    මැයි 02, 2014
    ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 27% ක් පමණ වයස අවුරුදු 15-29ත් අතර කාණ්ඩයට අයත් වේ. මෙම කණ්ඩායම පිළිබඳව සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් අවධානය යොමු කිරීම අතිශය වැදගත් වන්නේ ඔවුහු මෙරට සමාජ සංවිධානය තුළ ගාමක බලවේගය වන බැවිණි.
     
    විශේෂයෙන් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී තරුණ කණ්ඩායම පිළිබඳව අත්‍යවශ්‍ය අවධානයක් යොමු කළ යුතු වන්නේ එය අනාගත සමාජ ආර්ථික සංවර්ධනයට රුකුලක් වනවා මෙන්ම තරුණයින් මුහුණ දෙන සුවිශේෂී ගැටලු පිළිබඳව කතිකාවක් නිර්මාණය වීම කාලීන අවශ්‍යතාවක් වශයෙන්ද මතු වී ඇති බැවිණි. 
     
    වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල සමාජ-ආර්ථික සහ දේශපාලනික ව්‍යූහයන්හි ප්‍රධාන බලපෑම් කණ්ඩායම බවට පත් වී ඇත්තේ තරුණයන්ය. විශේෂයෙන් මෑත කාලයේ ලොව විවිධ සමාජයන්හි සිදු වූ දේශපාලනික සහ සමාජ ප්‍රතිසංස්කරණයන්හි බලවේග සැපයුම්කරුවෝ බවට පත් වී තිබුණේද තරුණ ප්‍රජාවයි. පසු ගිය වසර කිහිපය පුරා ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව, ඉරානය වැනි මැදපෙරදිග රාජ්‍යන්හි දේශපාලන ව්‍යුහයේ ඇතිකරන ලද සංවිධානාත්මක අරගලයන්හි දී සහ චිලී, පේරු, බ්‍රසීලය වැනි ලතින් ඇමෙරිකානු රටවල තව දුරටත් ක්‍රියාත්මක වන සමාජ-ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් සිදුකරන දේශපාලන ව්‍යාපාරයන්හි ත් පෙරටුගාමී සහ සක්‍රීය කණ්ඩායම වී ඇත්තේ තරුණ තරුණියන්ය. එහි දී පෙනී යන්නේ නව සමාජ වෙනස සදහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වශයෙන් තාරුණ්‍යය ක්‍රියාත්මක වන බවයි. එම නිසා තාරුණ්‍යය බොහෝ සමාජවල සමාජ-ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සඳහා බලපෑම් කරන සමාජ ව්‍යාපාරයක් ලෙස පෙනී සිටියි. 
     
    ශ්‍රී ලංකාවේ පසුගිය දශක පහක පමණ කාලය පිළිබඳව විමර්ශනය කරන විට දැකිය හැක්කේ , මෙරට සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් ඇති කරන ලද තීරණාත්මක සහ වැදගත් ප්‍රතිසංස්කරණයන් රාශියක අවධානය තරුණ ප්‍රජාවේ අවශ්‍යතා සහ අරමුණු සහ අභිලාෂයන් පාදක කොට ගෙන  ඇති බවයි . නිදහසින් පසු දශක තුනක පමණ කාලසීමාව තුළ මෙරට සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති කරන ලද ප්‍රතිපත්තිමය වෙනස්කම් රාශියක ප්‍රතිඵල වශයෙන් මෙරට දැකිය හැකි වූ  ප්‍රජා විද්‍යාත්මක වෙනස්කම් රාශියක්, තරුණයින් සදහා විශේෂ අවධානය යොමු කරමින් නිර්මාණය කරන්නා වූ ප්‍රතිපත්ති රාමුවක අවශ්‍යතාවය මතු කරන ලදී. 
     
    1960 දශකයෙන් පසුව  මෙරට ඇති වූ තරුණ ගැටලු බොහොමයක් තරුණ අසහනය පදනම් කරගනිමින් නිර්මාණය වූ ඒවාය.  තරුණ කොහොටයේ ප්‍රමාණාත්මක බව ඉහළ යාමත්, ඒ හා සමගාමීව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කරන ලද ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් ඉහළ අධ්‍යාපනය ලැබුවන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් මෙම කාල සීමාවේ දැකිය හැකි මුලික ලක්ෂණයක් විය. නමුත් 1977න් පසු ආර්ථික වශයෙන් ඇතිකරන ලද නිදහස් ප්‍රතිපත්ති, ආර්ථික ව්‍යුහය තුළ දැකිය හැකි වූ වෙනස් කම් හේතුවෙන් , ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමක සිටි සියලු තරුණ ප්‍රජාවම රටේ ආර්ථික ක්‍රියාවලියට උරා ගැනීමේ දුෂ්කරතාව මතු කරන ලදී. අනෙක් අතට දැඩි අනුග්‍රාහක දේශපාලනය හේතුවෙන් සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථාවන්ට ප්‍රවිෂ්ට වීමේ දුෂ්කරතාවද මතු කළ අතර, බොහොමයක් තරුණයින් දේශපාලන ක්‍රියාවලියෙන් පරිබාහිර වී සිටියහ. මේ අතර තරුණයින්ට සුවිශේෂී වූ ගැටලු සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමට තිබු ඉඩ ප්‍රස්තාවන් ද සුලභ නොවීය. මෙම හේතු නිසා තරුණයින් අතර ඇති වූ අසහනය දේශපාලනික වශයෙන් ප්‍රකාශයට පත් වුයේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයක් මගින් නො ව රැඩිකල් දේශපාලනික මුහුණුවර මගිනි. 1971 සහ 1988/89 කාලසීමා තුළ මෙරට ඇති වූ තරුණ දේශපාලන අරගල සහ උතුරේ දමිළ තරුණයින් ඇති කරනු ලැබූ ඇතැම් ව්‍යාපාරවලින් අප තේරුම් ගත යුත්තේ දේශපාලනික ක්‍රියාවලිය තුළ, විශේෂයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ සහ ක්‍රියාවට නැගීමේදී තරුණයින් සක්‍රීය අන්දමින් සහභාගී කරවා ගත හැකි සුසමාදර්ශයක් පිළිබඳව අප වර්තමානයේ අවධානය යොමු කළ යුතු බවයි.
     
    හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1971 මාර්තු 10 වන දින කොළඹ නවනගර ශාලාවේදී ගැමි තරුණ සම්මේලනය අමතමින් කියා සිටියේ තරුණයින් බලකාමී දේශපාලනයට රුචි නොවන අතර ඔවුන්ට සුවිශේෂී ගැටලු විසඳා ගැනීම දේශපාලනික වශයෙන් බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසීමත්, ජාතිය ගොඩ නැංවීමේ කර්තව්‍යයට තරුණයන්ට සහභාගී වීමට ඇති ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතු බවත්ය. එසේ කළ යුත්තේ පවතින දේශපාලන යාන්ත්‍රණය තුළ ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා අහිමි වීමෙන් ඊට පරිබාහිරව එම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මාර්ග ඔවුන් විසින්ම සොයා ගැනීමට ඇති ඉඩ කඩ පිළිබඳ අවදානම අවම කිරීම උදෙසාත්ය යන්න ද අවධාරණය කෙරුණි. මෙම සාකච්ඡාවෙහි වැදගත් වන්නේ තරුණ ප්‍රජාව ජාතිය ගොඩ නැගීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම සහ ඔවුන්ට සුවිශේෂී ගැටලු සම්බන්ධයෙන් කතිකාවකට දේශපාලන ඉඩ ප්‍රස්ථා සැලසීමත් යන සංරචකයන් වර්තමානයේ තාරුණ්‍යය හා සම්බන්ධ මුලික අවශ්‍යතාවක් වී පවතින බැවිණි.
     
    මෙම පසුබිම නිර්මාණය කිරීම සඳහා ජාතික සහ අන්තර්ජාතික කතිකාව ආරම්භ වී ඇති මොහොතක සහ ඒ සඳහා ක්‍රියාමාර්ග තෝරමින් සිටින අවස්ථාවක මෙවර ලෝක තරුණ සමුළුව (world conference of youth) ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබීම අපට අතිශය වැදගත් වේ. 2014 වර්ෂයේ ලෝක තරුණ සම්මේලනය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලොව පුරා විසිරී සිටින තරුණ ප්‍රජාව, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමතුන් ද ඇතුළුව, 1500ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙනි. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන සියලුම රාජ්‍යයන් ලෝක තරුණ සම්මේලනයට අයත් අතර මෙවර  සම්මේලනයට එක් රටකින් තරුණ තරුණියන් 2 බැගින්,  අනෙකුත් රටවල් නියෝජනය කරමින් සාමාජිකයින් 400 ක් සහ අන්තර්ජාතික සහ කලාපීය  මට්ටමින් තරුණ කව සහ සංවිධාන, පහසුකාරකයින්, මාධ්‍යය හා සම්බන්ධ නියෝජිතයින්, ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන් නියෝජනය කරන තරුණයින් සහ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් ද  ඇතුළුව තරුණයින් 350ක් ද වශයෙන් 750ක පමණ අන්තර්ජාතික තරුණ තරුණියන් පිරිසක්  සමුළුව නියෝජනය කරනු ඇත. ඊට අමතරව තරුණ ප්‍රජාව සහ සම්බන්ධ ලොව විවිධ ක්ෂේත්‍ර සහ සංවිධාන නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සහ ජාතික සහ අන්තර්ජාතික ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළුව, පාර්ශව කරුවන් 750 ක පමණ පිරිසක් ද මෙම සමුළුව නියෝජනය කිරීමට නියමිතය.
     
    මෙවර ලෝක තරුණ සමුළුවේ ප්‍රධාන තේමාව   ‘වර්ෂ 2015න් පසු සිදු කිරීමට අපේක්ෂිත සංවර්ධන න්‍යාය පත්‍රයෙහි, සංවර්ධන කටයුතු ක්‍රියාවට නැගීමේ දී, තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා තරුණයින් බලගැන්වීම’ යන්නයි. මෙම තේමාව පදනම් කර ගනිමින් ඊට අනුයාත වූ පහත ක්ෂේත්‍රයන් සමුළුවේදී පුළුල් සාකච්ඡාවට යොමු කරනු ඇත.
     
    1. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා ඇති සම අවකාශය.
    2. පූර්ණ සේවා නියුක්තිය සහ ව්‍යවසායකත්වය.
    3. දිළිඳුකම තුරන් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව.
    4. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට  සහ සෞඛ්‍යය පහසුකම් සදහා ප්‍රවිෂ්ට වීමට ඇති හැකියාව ඉහළ නැංවීම.
    5. පරිසර සංරක්ෂණය, අවදානම් සඳහා පුර්ව සූදානම සහ, තාරුණ්‍යය කේන්ද්‍ර කර ගත් නාගරීකරණය.
    6. සාමය හා සංහිඳියාව ගොඩනැගීම සහ ප්‍රචණ්ඩත්වය අවම කිරීම.
    7. විනෝදාස්වාදය ද ඇතුළුව, ක්‍රීඩාව සහ සංස්කෘතික ක්‍රියාකාරකම්හි නියැළීම.
     
     මෙම සමුළුව අප විසින් භාවිත කළ යුත්තේ කෙසේද ? සහ කුමක් සඳහාද? යන කරුණු පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. මෙය තවත් එක් උත්සවශ්‍රීයෙන් පවත්වන හුදු ප්‍රදර්ශනාත්මක අන්තර්ජාතික සමුළුවක් කරගන්නවාට වඩා තරුණයින්ට සංවර්ධන ක්‍රියාවලිය තුළ තීරණ ගැනීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට සක්‍රීය අයුරින් දායක විය හැකි වට පිටාවක් නිර්මාණය කිරීමේ කර්තව්‍යය ආරම්භ කිරීමට අඩිතාලම මේ හරහා ඇති කර ගත යුතුය. ඒ සඳහා අවශ්‍යය වඩා පෘථුල සහ ඵලදායී කතිකාවක් ඇති කිරීමත්, තරුණයින් අතර ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාවට නැගීමේ ක්‍රියාවලිය තුළට සහභාගී වීමට අවශ්‍යය බලගැන්වීම ඇති කිරීමත්, දේශපාලන අවකාශයක තුළ තරුණ නියෝජනය සහ සහභාගීත්වය ඉහළ දැමීමත්, ගෝලීය වශයෙන් ඇති කරන තරුණ එකමුතුව සමඟ සමාජ වෙනස සඳහා දැනුම, ආකල්ප, කුසලතා සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට සුදානම් කිරීමත් යන ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිලිමත් වීම සහ ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම මෙම සමුළුවෙන් ආරම්භ කළ හැකි නම් ලෝක තරුණ සමුළුව හරහා ශ්‍රී ලංකාවට ලබා ගත හැකි විශිෂ්ටතම ප්‍රතිඵලය එය වනු ඇත.     
    තුෂාර කමල්රත්න                    
    කථිකාචාර්ය
    සමාජවිද්‍යා දෙපාර්තමේන්තුව
    පේරාදෙණිය විශ්වවිද්‍යාලය  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya