ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් මඟින් පතුරුවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීර ගතවූ පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙනි. ඩෙංගු රෝගය කුඩා දරුවන්ට මෙන්ම වැඩිහියන්ට ද වැළඳිය හැකි අතර ඉක්මණින් හඳුනා ගැනීම තුළින් සංකුලතා මෙන්ම ජීවිත හානි ද වළක්වා ගත හැකි වනු ඇත.
ඩෙංගු රෝග ලක්ෂණ
ඩෙංගු වෛරසය ශරීර ගතවූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර සමහර දෙනෙක් තුළ ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ ඇති විය හැකිය. යම් රෝගියෙකුට තද උණට අමතරව පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් එම පුද්ගලයා ඩෙංගු රෝගියෙකු බවට සැක කළ යුතු වේ.
- හිසරදය සහ ඇස පිටුපස වේදනාව
- ඔක්කාරය සහ වමනය
- හන්දිවල හා පේශ්වල වේදනාව
- ශරීරයේ රතු පැහැති පලූ මතුවීම
- සමහර අවස්ථාවන්හී විදුරුමසෙන් හා නාසයෙන් ලේ ගැලීමේ තත්ත්වයන්
ඩෙංගු උණ සහිත රෝගියෙකු සාමාන්‍යයෙන් දින කිහිපයකදී රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබන අතර ඩෙංගු රක්තපාත උණ වැළඳුන රෝගීන් තුළ වඩාත් සංකීර්ණ රෝග ලක්ෂණ දක්නට හැකිය. මෙම සංකීර්ණ අවස්ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන් කර හඳුනා ගැනීමට අපහසු වන අතර අවදානම් අවස්ථාවලදී රෝහල් ගතව ප‍්‍රතිකාර ලබා ගැනීම සිදුකළ යුතුය.
මීට අමතරව පහත සඳහන් විශේෂිත ඛාණ්ඩවල අය ද ඩෙංගු රෝගය වැළදී ඇතැයි සැක කරන විට මුල් අවදියේදීම රෝහල් ගත කිරීම ඉතාමත් වැදගත් වනු ඇත.
- වයස අවුරුද්දට අඩු ළදරුවන්
- වයස 70 ට වැඩි පුද්ගලයින් , අධි බර සහති රෝගීන්
- ගර්භණී මවුවරුන්
- නිදන්ගත රෝග වලින් පෙළෙන රෝගීන්
ආසාදිත ඩෙංගු මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතියි. තවද පුද්ගලයෙකුගේ වයස හා ප‍්‍රතිශක්තිකරණය මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකිය.
යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප‍්‍රතිශක්තිය ඇති වන්නේ එක් ප‍්‍රභේදයකට පමණක් බැවින් ඔහුට නැවතත් අනික් ප‍්‍රභේද මඟින් ආසාදනය විය හැකි වේ. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප‍්‍රවණතාවය වැඩිවේ.
ඩෙංගු රෝගයේ අවදානම් ලක්ෂණ වනුයේ ,
- උදරයේ ඇති වන තද වේදනාව
- නොනවත්වා වමනය පැවතීම
- අධික නිදිමත බව / නොසන්සුන් බව/ අප‍්‍රාණික බව
- රුධිර වහනය වීම ( විදුරුමසෙන්, නාසයෙන් , දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මලපහ පිටවීම)
- පැය 06 කට වඩා වැඩි කාලයක් මුත‍්‍රා පහ නොවීම හෝ පිටවන මුත‍්‍රා ප‍්‍රමාණය අඩුවීම
උණක් සෑදුණු විට අප කළ යුතු දේ
වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගැනීම අත්‍යවශ්‍ය වන අතර උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිතා කළ යුතු වේ. වේදනා නාශක ඖෂධ හා ස්ටිරොයිඞ් භාවිතයෙන් වැළකිය යුතු අතර තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා තැවීම කළ යුතු වනු ඇත. තවද, උණ පවතින කාලය තුළ මදුරු දෂ්ටනයන්ගෙන් ද ප‍්‍රවේසම් විය යුතුය.
මදුරුවන් දෂ්ට කිරීමෙන් ආරක්ෂා විය යුත්තේ ඩෙංගු මදුරුවකු දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මෙම වෛරසයේ බිජෞසන සමය දින 3-14 අතර කාලයක් පවතිනු ඇත. ඉන් පසුව ඇති වන්නේ උණ අවධිය වන අතර එය දින 02-10 අතර කාලයක් පවතියි.
මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළු වන අතර එමඟින් වෙනත් පුද්ගලයෙකුට වෛරසය ඇතුළුවී රෝගය පැතිර යා හැකිය.
මෙම ඩෙංගු මදුරුවන් දෂ්ට කරනු ලබන්නේ දවසේ උදය කාලයේ හිරු පායා පැය ගිහිපයක් යනතුරු වුවද සවස් කාලයේ ද හිරු බැසීමට පැය කිහිපයකට පෙර වැඩිපුර දෂ්ට කිරීම සිදු කරනු ලබයි.
උණ පවතින කාලය තුළ භාවිතා කළ යුතු ආහාර පාන
උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට දියර වර්ග පානය කිරීම සිදු කළ යුතු වේ. මේ සඳහා තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනි හා පළතුරු යුෂ වඩාත් සුදුසු වනු ඇත. ළමුන් සඳහා ග්ලූකොස් වැනි සීනි සහිත දියර ආහාර ලබදීම සුදුසු වේ. රෝගියා කැමති ආකාරයේ වරකට කුඩා ප‍්‍රමාණ වශයෙන් සැහැල්ලූ ආහාර වේල් කිහිපයක් ලබා දිය යුතු අතර තෙල් සහිත ආහාර ලබාදීම සුදුසු නොවේ.
අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් ඇති වුවහොත් හඳුනා ගැනීමට පහසුවන අයුරින් රතු ,දුඹුරු පැහැති ආහාර හා දියර වර්ග ලබාදීමෙන් වැළකිය යුතු වේ.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන
මෙම ඩෙංගු මදුරුවන් ඉවතලන ප්ලාස්ටික් මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුලූ නාන තටාක, වතුරු ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහි පිහිලි වැනි මිනිසුන් විසින් ඇති කරනු ලබන ජලය රැඳෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි.
තවද බ්‍රොමිලියා, අන්නාසි පත‍්‍ර අතර ද ගස්බෙන වැනි ස්වභාවික ජලය රැඳෙන ස්ථානවල ද ඩෙංගු මදුරුවන් බෝවේ. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවෙස් ඇතුළත ද අඳුරු ස්ථානවල රැඳී සිටිය හැකිය.
ඩෙංගු මදුරුවන් මර්දනය කළ හැකි ක‍්‍රම
මදුරු කීටයන් ජලයේ පමණක් වාසය කරන නිසා සුහුඹුල් මදුරුවන් පාලනය කරනවට වඩා පහසුවෙන් කීටයන් මර්දනය කළ හැක. මේ නිසා පුළුවන් සෑම අවස්ථාවකදීම මදුරු කීටයන් විනාශ කළ හැකි සරලම ක‍්‍රමවේදය වන වතුර රැඳුන හා රැඳිය හැකි බඳුන් ඉවත් කිරීම හෝ විනාශ කිරීම සිදුකළ යුතුය.
භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා යොමු කරන්න. අනිකුත් බඳුන් මදුරුවන් බෝනොවන ලෙස විනාශ කරන්න.
වැහි පිහිලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න. වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න.
වතුර එක්රැස් වන ස්ථාන, ළිං, ටැංකි මදුරුවන්ට යානොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න.
නිරන්තරයෙන් සතියකට වරක් ගෙවත්ත හා නිවස හොඳින් පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න.
සුරාජී කරුණාතිලක
ප‍්‍රවෘත්ති නිලධාරි