චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා හමුවීමට ඊයේ (19) ගොවිජන මන්දිරයට පැමිණියහ.
එහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් දිගුකාලීන මිත්‍රත්වයක් පවතී. චීනයේ සිංජියාවෝ නගරය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත අංශයෙන් ප්‍රසිද්ධියක් උසුලන නගරයකි. චීනයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කෘෂිකර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත ඉතා දියුණුය. විශේෂයෙන් ගබඩාකරණය, ශීතාගාර පහසුකම් ඉහළ මට්ටමක පවතී. මෙහිදී චීන දූත පිරිස චීනයේ සංචාරයකට අමාත්‍යවරයාට විශේෂ ආරාධනයක් ද කළේය.
මෙම අවස්ථාවේදී අදහස් පළ කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පැවසුවේ, මෙවැනි අවස්ථාවක චීනය ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත්ය බවයි.
මෙම අවස්ථාව ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය, පශු සම්පත් ක්ෂේත්‍රය, වාරිමාර්ග, අපනයන බෝග, සුළු අපනයන බෝග යන අංශවලින් ආපදාවට ලක්ව සිටියි. ආපදා තත්ත්වය හේතුවෙන් වී වගාවේ යම් හානියක් තිබුණත් අපගේ විශ්වාසය අනුව එය රටේ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රබල ගැටළුවක් ඇති නොවන ආකාරයට යළි ගොඩ නැංවීමක් කළ හැකිය. ආපදාවෙන් පශු සම්පත් ක්ෂේත්‍රයේ යම් විනාශයක් සිදුව ඇත. වී වගාවෙන් පසු අප රටේ දෙවන ධාන්‍ය නිෂ්පාදනය වන්නේ බඩඉරිඟුය. බඩඉරිඟු වැඩි වශයෙන් භාවිත වන්නේ සත්ව ආහාරයක් වශයෙනි.
සාමාන්‍යයෙන් රටේ අවශ්‍යතාවයෙන් බඩඉරිඟු නිෂ්පාදනය කරනු ලබන්නේ 50%ක් පමණි. ඉඩම් හිඟතාවය හේතුවෙන් බඩඉරිඟු වගා කරන ඉඩ ප්‍රමාණය වැඩි කිරීමේ ගැටළුවක් ද පවතී. ඉදිරියේදී සහල් නිෂ්පාදනය ඉහළ නංවා ගනිමින් එය සත්ව ආහාරයක් වශයෙන් යොදා ගැනීමේ අවස්ථාව පිළිබඳව ද අපගේ අවධානය යොමු වී තිබේ.
වාරිමාර්ග අංශයෙන් ගත් කල ඉතා හොඳ වාරිමාර්ග පද්ධතියක් අප සතුය. ආපදාවත් සමඟ අපගේ සුළු වාරිමාර්ග සැලකිය යුතු ප්‍රමාණයක් බිඳ වැටී තිබේ. මේ වනවිට ඒවා තාවකාලිකව ඉතා වේගයෙන් පිළිසකර කරමින් පවතී. මහා වාරිමාර්ග සම්බන්ධයෙන් විශාල ගැටළුවක් ඇති වූයේ නැත. පොදුවේ ගත්කල අපගේ කඳුකර ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට ගැටළු මතුව තිබේ. ඉදිරියේදී කඳුකර ප්‍රදේශවල වෙනස්කම් සිදු කිරීමට සිදුවනු ඇත. එම ප්‍රදේශවල ජනතාව සහ වගා බිම් ඉන් ඉවත් කරගන්නවා ද යන ගැටළුව පැන නැඟී තිබේ. ඒ සඳහා ජාතික වශයෙන් ස්ථීරසාර විසඳුම් සෙවිය යුතුය. මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ තවදුරටත් චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ද අදහස් පළ කළේය.
කෘෂිකර්මාන්තයේදී සිදුවන පසු අස්වනු හානිය පිළිබඳව ලේකම්වරයා මෙහිදී අවධානය යොමු කළේය. ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කිරීම අපගේ අපේක්ෂාව වන බවත්, ඒ සඳහා වත්මන් රජය උපරිමයෙන් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය. ආපදා තත්ත්වය හේතුවෙන් ගොවියාට සිදු වූ හානිවලදී විශාල වශයෙන් වන්දි ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර එහි අවසාන අරමුණ ගොවියාට පහසුකම් සැලසීම බව ද පෙන්වා දුන්නේය.
මෙහිදී චීන දූත පිරිස විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම, කාලගුණික විපර්යාස පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණය වැඩි දියුණු කිරීම, ඒ සඳහා අවශ්‍ය පිළියම් ගැනීමට කඩිනම් පියවර ගැනීම එම යෝජනා අතර කිහිපයකි.
දෙරට අතර සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමෙන් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය ඉදිරියේදී ද පවත්වාගෙන යාම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


