ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක් එක් කරමින්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල තුළ දකුණු ආසියානු කලාපයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම 4D Angio CT suite පද්ධතිය සහ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය අද (24) විවෘත කෙරිණි.
මෙම ව්‍යාපෘතිය ජපාන රජයේ රුපියල් මිලියන 1000කට අධික මූල්‍ය සහායෙන් ක්‍රියාත්මක වූ අතර, ස්ථාපිත කළ 4D Angio CT පද්ධතිය මෙරට රාජ්‍ය හෝ පෞද්ගලික රෝහල් පද්ධතියේ මෙතෙක් නොතිබූ අතිනවීන තාක්ෂණයකි.
එමෙන්ම නවීන දන්ත පුටු 10කින් සමන්විත දන්ත සෞඛ්‍ය ඒකකයද සමඟින් රෝහලට පැමිණෙන රෝගීන්ට ඉහළ ගුණාත්මක සහ කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීමට හැකි වේ.
උත්සවය අමතමින්, මෙම නවීන උපකරණ උපරිම ධාරිතාවයෙන් භාවිත කරමින් රෝගීන්ට කඩිනම් සේවාව ලබාදීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වගකීමක් බව අවධාරණය කෙරිණි. එමෙන්ම රෝගී පොරොත්තු ලේඛන අවම කරමින් නව යුගයට ගැළපෙන ලෙස සෞඛ්‍ය සේවාවන් සංවර්ධනය කිරීමත්, රෝහල විශිෂ්ටතම මට්ටමකට උසස් කිරීමත් අරමුණ බව ද ප්‍රකාශ විය.
මෙම අවස්ථාවට මෙරට ජපාන තානාපති Akio Isomata මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නියෝජිතයින් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහභාගී විය.


