තෙල් මිල වැඩිවීමේ සමස්ත බර ජනතාව මත පටවන්නේ නැහැ - ඇමති නලින්ද ජයතිස්ස

තෙල් මිල වැඩිවීමේ සමස්ත බර ජනතාව මත පටවන්නේ නැහැ - ඇමති නලින්ද ජයතිස්ස
  • SocialShare:

තෙල් මිල වැඩි වුවත් එම සමස්ත ආර්ථික බර ජනතාව මත පැටවීමට රජය උත්සාහ නොකරන බවත්, එම බර කළමනාකරණය කරගනිමින් හැකි උපරිමයෙන් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවත් කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.


අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

වත්මන් යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු තෙල් මිල වේගයෙන් ඉහළ යාම හේතුවෙන් පෙර පැවති මිලට තෙල් ලබාදීම අපහසු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවට වඩා තෙල් සංචිත සහ ඩොලර් සංචිත ඇති, ඩොලර් මුදල් මුද්‍රණය කරන රටවල පවා තෙල් මිල ඉහළ දමා ඇති බවයි. එමෙන්ම, ඇතැම් රටවල් තෙල් භාවිතය සීමා කිරීමට ද පියවර ගෙන ඇති අතර, මෙය ලෝක පරිමාණයෙන් මුහුණදෙන අර්බුදයක් බවද ඔහු අවධාරණය කළේය.

තෙල් නිෂ්පාදනය නොකරන ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම තත්ත්වයෙන් දැඩි ලෙස බලපෑම්ට ලක්වන බව පෙන්වා දුන් කැබිනට් ප්‍රකාශකවරයා, පවතින ආර්ථිකය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සීමිත සම්පත් සහ සංචිත නිසි ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.

මෙම පසුබිම තුළ තෙල් මිල ඉහළ දැමීමට රජය තීරණය කළ බවත්, එසේම, ලෝක වෙළඳපොළේ පවතින සැබෑ මිල මට්ටම් සම්පූර්ණයෙන්ම දේශීය මිලට ඇතුළත් කර නොමැති බවද හෙතෙම පැවසීය.

තවද, තෙල් මිල වැඩිවීමෙන් ජනතාවට ඇති වන බලපෑම අවම කිරීම සඳහා මාසයකට රුපියල් බිලියන 20ක් භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති අතර, සමාගම් ද යම් ප්‍රමාණයකින් වියදම දරාගෙන ඇති බව සඳහන් කළේය. එහෙත්, එයට අමතරව තවත් මිල ඉහළ දැමීමක් අනිවාර්ය වී ඇති බවද ඔහු පැවසීය.

ජනතාවගේ දෛනික ජීවිතයට අවම බලපෑමක් ඇති කිරීම රජයේ වගකීමක් වන අතර, ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම, රටේ ආර්ථික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් මෙම තීරණ ගන්නා බව ද ඔහු පැවසීය.

ලෝකයේ බොහෝ රටවල් මෙවැනි තත්ත්වයන් හමුවේ සමාන තීරණ ගන්නා බව පෙන්වා දුන් ඔහු, වියදම් කළමනාකරණය කරමින් රාජ්‍ය ආදායම් වැඩි කිරීම සහ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාම මගින් ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව ද කියා සිටියේය.

“සියල්ල අහිමි කරමින් ඉදිරියට යා නොහැක. අනාගතය පිළිබඳව සිතා ක්‍රියා කළ යුතුයි. මේ කුණාටුකාරී අවස්ථාවේ නැව ආරක්ෂිතව ඉදිරියට ගෙන යාමත්, එහි සිටින සියලු දෙනා ආරක්ෂා කිරීමත් අපගේ වගකීමයි” යනුවෙන් ද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම, සහන ලබාදිය හැකි උපරිම මට්ටමින් ලබාදෙමින් සිටින අතර, ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය හරහා අවශ්‍ය කණ්ඩායම් වෙත තෝරාගත් සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ද සඳහන් කළේය.