“අනතුරක දී සිදුවන ලේ ගැලීම් වළක්වමු” (Stop bleed) තේමාවෙන් කොළඹ දී පාගමනක්

“අනතුරක දී සිදුවන ලේ ගැලීම් වළක්වමු” (Stop bleed) තේමාවෙන් කොළඹ දී පාගමනක්
  • SocialShare:

 ‘’අනතුරකදී සිදුවන ලේ ගැලීම් වළක්වමු” (Stop bleed) යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනක් ඊයේ (12) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ආරම්භ වූ පාගමන විහාරමහා දේවී උද්‍යානය පසුකරමින් නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරනු ලැබීය.  හදිසි අනතුරු ලේකම් කාර්යාලය (National Trauma Secretariat) මගින් සංවිධානය කරනු ලැබූ  මෙම පාගමනේ ප්‍රධාන අරමුණ ජනතාව දැනුවත් කිරීම, ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීම, හදිසි අනතුරු සම්බන්ධයෙන් රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන කාර්ය මණ්ඩලය අගය කිරීම යි.

හදිසි අනතුරු ලේකම් කාර්යාලය (National Trauma Secretariat) සෞඛ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් 2006 වර්ෂයේ දී ආරම්භ කර ඇත. හදිසි අනතුරු පිළිබඳව සියලු තොරතුරු අධීක්ෂණය කිරීම, හදිසි අනතුරු වලක්වා ගැනීමට ඉදිරි පියවර ගැනීම ප්‍රමුඛ කර ගනිමින් විශාල කාර්යන් ප්‍රමාණයක් මෙම ලේකම් කාර්යාලය ඉටුකරනු ලබන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයගේ ප්‍රධානත්වයෙන්, පූර්ණ අධික්ෂණය යටතේ  මෙය ක්‍රියාත්මක වේ.

මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගත වීම් සිදුවන්නේ හදිසි අනතුරු නිසාවෙන් බවත්, හදිසි අනතුරු වළක්වා ගත හැකි බවත් මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. මෙම හදිසි අනතුරු වළක්වා ගැනීමෙන් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ ආර්ථිකයට දැඩි ලෙස ප්‍රතිලාභ අත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම විශේෂ පාගමනේ අරමුණ ද ජනතාව දැනුවත් කිරීම මෙන්ම හදිසි අනතුරු වල දී ප්‍රතිකාර කටයුතු සිදුකරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සියලුම කාර්ය මණ්ඩලය අගය කිරීම බව ද සඳහන් කර සිටියේය.

රටක් ලෙස ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට පැමිණෙන විට අනතුරු වළක්වා ගැනීම සඳහා වන මැදිහත්වීම සෑම අංශයකින්ම, සෑම පැතිකඩකින්ම සිදුවිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව දැනුවත් කරමින්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද එයට එකතුකර ගනිමින්, අවශ්‍ය දැනුවත්කිරීම ද සිදු කරමින්, අනතුරු අවම කරගැනීමටත්, හදිසි අනතුරු නිසා රෝහල් පද්ධතියට වන බලපෑම අවම කරගැනිමටත් අපේක්ෂා කරන බව ද  වැඩිදුරටත් පැවසී ය.

හදිසි අනතුරු හේතුවෙන් දිනකට ජීවිත හයක් අහිමි වන බවත්, හදිසි අනතුරු හේතුවෙන් විශාල පිරිසක් පූර්ණ අබාධිත තත්ත්වයටත්, අර්ධ ආබාධිත තත්තත්වයටත් පත්වන බව මෙහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනාවරණය කරන ලදී.

මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ, ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් නියෝජිතයන්, කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළුව සියලු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය කරමින් වෘත්තිකයන්,  රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් නියෝජිතයන්, අවට පාසල්වල පාසල් සිසුන් ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ.