ඉන්ධන ලබාගැනීම සඳහා භාවිතා කරන QR කේත පද්ධතියට අදාළ බොහෝ ගැටලු මේ වනවිට නිරාකරණය කර අවසන් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පෙර සිට QR කේතයක් තිබූ සහ වාහන අංකය නොවෙනස්ව පවතින අවස්ථාවල කිසිදු ගැටලුවකින් තොරව එම QR කේතය භාවිතා කළ හැකි බවයි.
එසේම, වාහනය එකම වුවද අංකය අලුත් කර ඇති අවස්ථාවල නව QR කේතයක් ලබාගැනීම සඳහා කාලයක් ලබා දීමට සිදු වූ බවද ඔහු පැවසීය.
නව වාහන මිලදී ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් පැවති ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇති අතර, එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට ඉතිරිව ඇති ප්‍රධාන ගැටලුව වන්නේ වාහන අයිතිකාරිත්වය වෙනස්වීම සම්බන්ධයෙන් වන අතර, එවැනි අවස්ථාවල පෙර අයිතිකරුගේ QR කේතය ඉවත් නොකිරීම හේතුවෙන් ගැටලු ඇතිව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. එම ගැටලුවද මේ වනවිට නිරාකරණය කරමින් පවතින බවද සඳහන් විය.
මේ අතර, පැයකට වාහන 30,000ක් පමණ පද්ධතියට ලියාපදිංචි වෙමින් පවතින අතර, එය සැලකිය යුතු ප්‍රගතියක් ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


