ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය පොලිසිය හා එක්ව ඊයේ (16) කල්පිටිය නගරයේ දී සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති අටසීයක (800) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වී තිබේ.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් කල්පිටිය පොලිසිය හා එක්ව, කල්පිටිය නගරයේදී සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති අටසීයක(800) පමණ තොගයක් සහ සැකකරුවන් දෙදෙනෙක් (02) සමඟ එම ත්‍රීරෝද රථය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33ත් 49ත් අතර වන කල්පිටිය, පුදුකුඩුඉරිප්පු සහ එත්තාලෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02), මත්පෙති තොගය සහ ත්‍රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.