ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව MFC ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් මෙම වසරේ අවසන් කිරීමට සැලසුම්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව MFC ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් මෙම වසරේ අවසන් කිරීමට සැලසුම්
  • SocialShare:

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව පරිපාලන ගොඩනැඟිල්ලේ (Maritime Facilitation Centre - MFC) ඉදිකිරීම් මෙම වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි  වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව පරිපාලන ගොඩනැඟිල්ලේ (Maritime Facilitation Centre - MFC) ඉදිකිරීම් කටයුතු වල වර්තමාන තත්ත්වය ගැන සොයා බැලීම සඳහා ඊයේ(26) සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිණි.

වරාය නගරයේ පැරණි ගොඩනැඟිලි ඉවත් කිරීමේ අවශ්‍යතාවය මත, කොළඹ කොටුව කැනල් අංගන පරිශ්‍රයේ මෙම නව පරිපාලන ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් 2021 ජූලි මාසයේ ආරම්භ වූ අතර, වසර දෙකකින් අවසන් කිරීමට නියමිතව තිබුණද, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාද වීමක් සිදු විය. මේ වන විට ව්‍යාපෘතියේ ඉදිකිරීම් 75%කින් පමණ අවසන් වී ඇත.

මෙම ව්‍යාපෘතියට මූල්‍ය ආධාර සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වන අතර, ගිවිසුම් මුදල රු. බිලියන 5 සහ ඇමරිකන් ඩොලර් මිලියන 2 ක පමණ වේ. ගොඩනැඟිලි සංකීර්ණය මහල් 19කින් සමන්විත වන අතර, මුළු වර්ග ප්‍රමාණය වර්ග මීටර් 35,000 කි. ව්‍යාපෘතිය අවසන් වූ විට, රුවල් නැව ආකෘතියකට ගොඩනැඟිල්ල දර්ශනය වන අයුරින් සැලසුම් කර ඇත.

ගොඩනැඟිල්ල ඉදිකිරීමට තෝරාගත් ස්ථානය, රේගු ප්‍රධාන කාර්යාලය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ වාණිජ බැංකු ශාඛා ආසන්නයේ පිහිටීම හේතුවෙන් වරාය සහ සමුද්‍රීය සේවා ලාභීන්ට පහසුවෙන් සිය සේවා ලබාගත හැකි වේ. වරාය අධිකාරියේ අංශ 24ක සේවකයින් 1,600කට ආසන්න පිරිසක් මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානය හා ප්‍රධාන මධ්‍යම බස් නවතුම් ආසන්නයෙන් ප්‍රවාහන පහසුකම් සැලසී ඇත.

මෙම නිරීක්‍ෂණ චාරිකාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන මහත්වරුන් ද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.