ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජනරාල් සහ කම්කරු අමාත්‍ය අතර හමුවක්

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජනරාල් සහ කම්කරු අමාත්‍ය අතර හමුවක්
  • SocialShare:

ජිනීවා නුවර , ජූනි 01 සිට 12 දක්වා පැවැත්වීමට නියමිත 114 වැනි ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට සමගාමීව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (08)  ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජනරාල් ගිල්බට් එෆ්. හුන්ග්බෝ (Gilbert F. Houngbo) මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වීය.

මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය සහ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින පුළුල් ප්‍රතිසංස්කරණ සහ වැඩසටහන් පිළිබඳව අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළේය.

එම ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහාය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.

සේවා ස්ථාන තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් වැළැක්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C190 සම්මුතියට ශ්‍රී ලංකාව මෑතකදී එකඟත්වය පළ කළ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හඳුන්වාදීම සඳහා රජය දැනටමත් පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.

ධීවර ක්ෂේත්‍රයේ නියුතු කම්කරුවන්ට යහපත් සේවා තත්ත්වයන් සහතික කිරීම සඳහා වන C188 ධීවර කර්මාන්තයේ වැඩ කිරීම පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාව එක්වීම සම්බන්ධයෙන්ද රජය අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය සඳහා ආරක්ෂිත, සාධාරණ සහ ගුණාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවද ඔහු සඳහන් කළේය.

​ශ්‍රී ලංකාවේ මෙම කැපවීම සහ මෑතකාලීනව කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුව කටයුතු කිරීම පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ඇගයීම පළ කළ අතර, ඉදිරියේදී මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කරන බව ද එතුමා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ,ඉදිරියේදී අවශ්‍ය තාක්ෂණික සහාය සහ උපදේශන සේවා ලබාදීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය කැපවී සිටින බවද පැවසුවේය.