Clean Sri Lanka වැඩසටහනට සමගාමීව '' සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේළි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක්

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව '' සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේළි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක්
  • SocialShare:

 Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව '' සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (06) දින කහවත්ත ඕපාත වත්තෙන් ආරම්භ   කෙරිණි.

දැකුම්කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් බිහි කිරීම සඳහා වන Clean Sri Lanka ජාතික වැඩ සටහනට සමගාමීව මෙරට මලයගම් ප්‍රජාව නඟා සිටුවීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය එහි පාර්ශවකරුවන් සමග එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරයි.

වැවිලි ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මෙන්ම මෙරට තේ ඇතුලු වැවිලි කර්මාන්තය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවන මලයගම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සැපවත් කිරීමේ අරමුණින් යුතුව මෙම ව්‍යාපෘතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සිදු කරයි.

මෙම පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස පේලි පිරිසිදු කර තීන්තආලේප කර පිළිසකර කිරීම, බිත්ති හා ගෙබිම පිළිසකර කිරීම, දිරා ගිය සෙවිලි තහඩු ඉවත් කර අලුතින් සෙවිලි තහඩු යෙදීම හෝ සම්පූර්ණයෙන් වහලය සකස් කිරීම, ශ්‍රමදාන මගින් වට පිටාව පවිත්‍ර කර පිරිසිදු කිරීම, ජලාපවාහන පද්ධති ක්‍රමවත් කිරීම, තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් එක් එක් නිවෙස් සඳහා අනන්‍ය ලිපිනයන් ලබාදීම, තැපැල් බෙදන නිලධාරීන් මගින් එක් එක් නිවස වෙත ලිපි ලැබීම තහවුරු කිරීම, උප්පැන්න විවාහ සහතික නොමැති අය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රෙජිස්ට්‍රාර් නිලධාරීන්ගේ සහයෝගයෙන් එම උප්පැන්න සහ විවාහ සහතික ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයා දීම, මලයගම් ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය හා අධ්‍යාපන මට්ටම ඉහල නැංවීම තුලින් චයාත්මක වෙනසක් ඇති කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් විවිධ ආකෘති ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

අද දින පළමු අදියර ලෙස ඕපාතවත්තේන් ආරම්භ වු මෙම ව්‍යාපෘතිය නුවර එළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, මාතර, කළුතර,ගාල්ල,කෑගල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ නිවාස පේලි 75 ක් හා පවුල් 1072 ක් තෝරාගෙන ඇති අතර ඉදිරියේදි එම දිස්ත්‍රික්ක වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිතයි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැවිලි ක්ෂේත්‍රයේ නියැළි සිටින අපනයනකරුවන් හා වෙළෙඳ සංගම් හා ආයතන විසින් රු.මිලියන 112ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.

මෙම ආරම්භක වැඩසටහනේදි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදීප් මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා යන අය විසින් මෙම පිළිසකර කිරිම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වතු අධිකාරිය වෙත බාරදීම සිදු කරන ලද අතර පුද්ගල ලියාපදිංචි දෙපාර්තමේන්තුව මගින් හැඳුනුම්පත් නොමැති පිරිස් සඳහා හැඳුනුම්පත් ලබා දීමට අදාල තොරතුරු එක්‍ රැස්කිරිම සිදු කරන ලදි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රදේශයේ ඕපාතවත්ත කොටසේ පැවැති මෙම ආරම්භක අවස්ථාව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදීප් මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ගොඩකවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුලු මන්ත්‍රි වරුන් ද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියන් ද, වැවිලි මානව සංවර්ධන භාරයේ නිළදාරින් ද, කහවත්ත වැවිලි සමාගමේ කළමණාකරු ද ඇතුලු ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.