පාසල්, පිරිවෙන් සහ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ කේන්ද්‍ර කරගනිමින් "Clean School" වැඩසටහන හෙට ඇරඹේ

පාසල්, පිරිවෙන් සහ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ කේන්ද්‍ර කරගනිමින් "Clean School" වැඩසටහන  හෙට ඇරඹේ
  • SocialShare:

Clean Steps - Safe Spaces” තේමාව යටතේ පාසල්, පිරිවෙන් සහ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ කේන්ද්‍ර කරගනිමින් "Clean School" වැඩසටහන  හෙට(09) ආරම්භ වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසීය.

 

"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව පාසල් පද්ධතිය තුළ දියත් කරනු ලබන Clean Steps - Safe Spaces තේමාව යටතේ අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ(07) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

පසුගිය මාස හය ඇතුළත ශ්‍රී ලංකාවේ ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වැඩි වන බව සෞඛ්‍ය අංශ මඟින් සිදුකරන ලද අනාවරණය හේතුවෙන් පාසල් සිසුන් අතර මෙම රෝග ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පාසල්, පිරිවෙන් සහ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ කේන්ද්‍ර කරගනිමින් Clean School එක් දින වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාල මාර්ගෝපදේශ සංග්‍රහය දිවයිනේ සියලුම අධ්‍යාපන ආයතන හා අංශ වෙත යොමු කර ඇත.

පරිසර හිතකාමී, ආකල්ප සංවර්ධනය වූ සමාජ වගකීමෙන් යුතු ප්‍රජාවක් ගොඩනගා ගැනීම අරමුණින් “Clean Sri Lanka Month” වැඩසටහන සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ සංග්‍රහය අනුව පාරිසරික කුළුණ යටතේ පාසල්වල සනීපාරක්ෂාව සහ පවිත්‍රතාව සම්බන්ධ ගැටලු හඳුනාගෙන, ඒවාට විසඳුම් සෙවීම ද සාමාජික කුළුණ හා සාරධර්ම කුළුණ යටතේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද මෙම දිනවල සියලුම පාසල්වල ක්‍රියාත්මක අතර, පාසල් පරිශ්‍ර තුළ දරුවන්ට අනතුරුදායක හා අවදානම් කලාප හදුනා ගැනීම ද මෙම වැඩසටහනට ඇතුලත් ය.

 ඒ අනුව හෙට සිට පාසල තුළ මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනා ගැනීම හා ඒවා විනාශ කිරීම, ගොඩනැගිලි හා පන්ති කාමර පිරිසිදු කිරීම, ජලනල සහ වැසිකිලි පද්ධති පිරිසිදු කිරීම, ක්‍රීඩා පිටි හා උද්‍යාන පිරිසිදු කිරීම, පැළ සිටුවීම, හරිත කලාප සංවර්ධනය, පාසල් පරිශ්‍රයන් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රමවේදයන් සකස් කිරීම වැනි වැඩසටහන් රාශියක් පාසල් පද්ධති, පිරිවෙන් සහ විද්‍යාපීඨ තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබේ.

මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම්, අඩුපාඩු හදුනාගැනීම හා නිවැරදි කිරීම, පාර්ශවකරුවන්ගේ යෝජනා හා අදහස් ලබා ගැනීම, පෙර පැවති තත්වයන් හා පසු තත්වය පිළිබද වාර්ෂික ඇගයීම් වාර්තා සකස් කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් පසු විපරම් ක්‍රියාවලිය සිදු කිරීමට කටයුතු සැළසුම් කර ඇත.

එමෙන්ම පළාත් වශයෙන් WhatsApp Group සකස් කර ඇති අතර ඒ ඒ පළාතට අදාල QR කේත මගින් එම සමූහයන් සදහා එක්වීමට හා තොරතුරු හුවමාරු කර ගැනීමට, සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇත.

විෂය සමගාමී සහ ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන අතිරේක ලේකම්, Clean Sri Lanka වැඩසටහනේ අධ්‍යාපන අමාත්‍යාංශ සම්බන්ධිකාරක උදාර දික්කුඹුර මහත්මිය ද මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියාය.