මැනිං වෙළඳපොළ පිරිසිදු කිරීමේ "Clean Manning" වැඩසටහන ඇරඹේ

මැනිං වෙළඳපොළ පිරිසිදු කිරීමේ "Clean Manning" වැඩසටහන ඇරඹේ
  • SocialShare:

පෑලියගොඩ මැනිං වෙළඳපොළ පරිශ්‍රය පිරිසිදු කිරීමේ "Clean Manning" වැඩසටහන ඊයේ (14) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය, පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රධානතම එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානයක් වන පෑලියගොඩ මැනිං වෙළඳපොළ වෙත දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු සහ පලතුරු රැගෙන එන වෙළෙඳුන් මෙන්ම විශාල පාරිභෝගික පිරිසක් පැමිණේ.

වෙළඳපොළ පරිශ්‍රයේ පවතින පාරිසරික සහ සනීපාරක්ෂක ගැටලු හේතුවෙන් වෙළෙඳුන්ට සහ ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමයේ සභාපතිවරයා, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ වෙළෙඳ මහතුන් ඇතුළු විශාල පිරිසක් එක්විය.