ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 90 වැනි සංවත්සරය ජූලි 3 වැනිදා සමරන අතර ඊට සමගාමීව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
වසර 90ක් පුරා සත්ව සුබසාධනය, විද්‍යාත්මක පර්යේෂණ, සංරක්ෂණ අභිජනනය සහ පාරිසරික අධ්‍යාපනය සඳහා කැපවී සිටින ජාතික මධ්‍යස්ථානයක් ලෙස දෙහිවල ජාතික සත්වෝද්‍යානය සුවිශේෂී සේවාවක් ඉටු කර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සංවත්සරයට සමගාමීව, සත්ව ලෝලීන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූ දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා සඳහා මහජනතාව විසින් යෝජනා කළ නම් අතරින් තෝරාගත් නිල නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එම නම් යෝජනා කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද එදින සිදු කෙරේ.
එමෙන්ම, සංවත්සර දිනයේදී සිංහ පැටවුන් දෙදෙනා සිය මව සමඟ සිංහ දූපත තුළ නරඹන්නන්ට දැකබලා ගැනීමේ විශේෂ අවස්ථාවක් ද ලබාදීමට කටයුතු යොදා ඇත.
මීට අමතරව, දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උපත ලැබූ නයිල් හිපෝ පැටවා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර එම හිපෝ පැටවාට නමක් තැබීමේ අවස්ථාව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සඳහා ලබාදීමට ද තීරණය කර තිබේ.
තවද, මින් මැදුර, සමනල උයන සහ අධ්‍යාපනික ප්‍රදර්ශන ඇතුළු විශේෂ ආකර්ෂණීය අංග රැසක් ඔස්සේ සොබාදහමේ අපූර්වත්වය අත්විඳීමට නරඹන්නන්ට අවස්ථාව සැලසෙන බවත් මෙම නවමු අත්දැකීම් විඳගැනීම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත පැමිණෙන ලෙස සියලු දේශීය හා විදේශීය සංචාරකයන්ට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ආරාධනා කර සිටින බවත් සඳහන් වේ.


