ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව සහ උන්නතිය වෙනුවෙන් සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති "බුද්ධශාසන සභාව" ඊයේ (ජූලි 01) බුද්ධශාසන අමාත්‍යාංශයේදී රැස්විය.
පූජනීය මහා සංඝරත්නයේ පූර්ණ මැදිහත්වීමෙන් පැවති මෙම හමුවේදී, ශාසනික හා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කෙරිණි. බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පසුගිය කටයුතු සමාලෝචනය සහ ඉදිරි වැඩ සාකච්ඡා කිරීම සිදුකෙරිණි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ "අධිෂ්ඨානයේ සංහිඳ" ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම, යතිවර මාපිය නිවහන වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම, ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
විශේෂයෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. මහා සංඝරත්නය උදෙසා නිකුත් කෙරෙන නව හැඳුනුම්පත පිළිබඳ පැහැදිලි කිරීමද මෙහිදී සිදුවිය. කාලීන අභියෝග හමුවේ බුද්ධශාසනයේ චිරස්ථිතිය සහ භික්ෂූන් වහන්සේලාගේ කාලීන ගැටලු ඇතුළු සුවිශේෂ කරුණු රැසක් මෙහිදීම ගෞරවනීය මහා සංඝරත්නය විසින් පෙන්වා දුන් අතර, ඊට අදාළ රාජ්‍ය මැදිහත් වීම පිළිබඳව පැහැදිලි කිරීම් බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා සහ අමාත්‍යවරුන් දෙපළ විසින් සිදු කරන ලදී.


