කාසල් වීදියේ කාන්තා රෝහලට (ශික්ෂණ) වසර 75 ක් සපිරෙයි

කාසල් වීදියේ කාන්තා රෝහලට (ශික්ෂණ) වසර 75 ක් සපිරෙයි
  • SocialShare:

වර්තමානයේ පවතින අභියෝගයන්ට ද මුහුණ දෙමින්, නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුගතව කාසල් රෝහලේ ඉදිරි කටයුතු ශක්තිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කාසල් රෝහලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් එම රෝහල් පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කාසල් වීදියේ කාන්තා රෝහල , මාතෘ සහ නව ජන්ම සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ කැපවීම සහ විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස ඉදිරියෙන්ම පවතින බව ත් එම විශිෂ්ට සේවය වෙනුවෙන් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් රෝහලක් බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට සෞඛ්‍ය සේවාව සතු රෝහල් සහ ‍ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක 1200 අතුරින් කාසල් විදිය කාන්තා රෝහල තවත් එක් රෝහලක් පමණක් නොවන බව ද මෙම රෝහල විශේෂිත මෙන්ම සාමාන්‍ය රෝහලකට වඩා ඉදිරියෙන් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රෝහල් සංවත්සරයට සමගාමීව විශේෂ වෛද්‍ය ප්‍රදර්ශනයක් ඊයේ සහ අද පැවැත්වෙන අතර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, මහාචාර්ය සනත් ලැන්රෝල් යන මහත්වරුන්ගේ සහ රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සම්පාදනය කරන ලද විශේෂ සමරු ග්‍රන්ථය එළිදැක්වීම ද සිදු කෙරිණි.
තවද සෞඛ්‍ය අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යංශය හා යුනිසෙෆ් සංවිධානය එක්ව මාතෘ හා නව ජන්ම සෞඛ්‍ය සත්කාරය පිළිබදව දැනුවත්වීමට සකස් කරන ලද වීඩියෝ දර්ශන එළිදැක්වීම සහ විශේෂ සමරු තිළිණයක් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා අමාත්‍යවරයාට පිරිනැමීම ද එහිදී සිදු විය.