ඉදිරි සති දෙක තුළ දිට්වා වන්දි ගෙවීම්වල ප්‍රගතිය තවදුරටත් වේගවත් කරගැනීමට අපේක්ෂා කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක මහතා සඳහන් කරයි.
අතිරේක ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ(12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පශ්චාත් දිට්වා ආපදා සහන වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
දිට්වා ආපදාව හේතුවෙන් ලංකාවේ දිස්ත්‍රික්ක 22ක ප්‍රධාන වශයෙන් 703922ක් ආපදාවට ලක්වී ඇතැයිද ඒ තුළ පුද්ගලයින් 2487114 දෙනෙක් ආපදාවට ලක්ව ඇතැයිද මරණ 676ක් සහ අතුරුදහන් පුද්ගලයින් 155 දෙනෙක් වාර්තා වී ඇතැයිද පැවසුවේය.
ආරම්භක අවස්ථාවේ සුරක්ෂිත මධ්‍යස්ථාන 2597ක් පවත්වාගෙන ගිය බවද ඒ තුළ පවුල් 104382 ක් සදහා රැකවරණය ලබාදුන් බවද අද වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 50ක් පමණක් ඇතැයිද ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක මතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට ජීවනෝපාය දීමනාව, පාසල් ළමුන්ගේ දීමනාව, නිවාස කුළී දීමනාව, නිවාස පිරිසිදු කරගැනීමේ 25,000 දීමනාව හා ගෘහ උපකරණ 50,000 දීමනාව, මරණ වන්දි දීමනාව යන දීමනා ලබාදීම වෙනුවෙන් ලංකාව පුරා ප්‍රමුඛතාවය ඇති දිස්ත්‍රික්ක සදහා රුපියල් බිලියන 4.5ක් වෙන්කර දී ඇතැයිද පැවසුවේය.
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සතිපතා මෙම දීමනා ගෙවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා ලබාගන්නා බවද එම වාර්තා අනූව රුපියල් 25,000 දීමනාව 98.2%ක් ගෙවා අවසන් බවද 50,000 දීමනාව 81.5%ක් ගෙවා අවසන් ව ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය.


