ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදනයට සියවසක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදනයට සියවසක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක්
  • SocialShare:

දකුණු ආසියාවේ පළමු වැනි රේඩියෝ විකාශනය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදනයට සියවසක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (12) කොළඹ අරලියගහ මන්දිරයේදි පැවැත්විණි.

දැනට ජීවත්ව සිටින පැරණිතම ශ්‍රී ලාංකික ගුවන් විදුලි සන්නිවේදකයින්, ඉංජිනේරුවන් හා තාක්ෂණ ශිල්පීන් 30 දෙනෙකු මෙම අවස්ථාවේදී ඇගයීමට ලක් කෙරිණි. එසේම ආචාර්ය ධම්මික දිසානායක මහතා විසින් රචිත “A Century of Radio Broadcasting” නමැති වෙළුම් 4කින් සමන්විත පර්යේෂණ කෘතියේ පළමු වෙළුම ජනගත කිරීමද, “ගුවන් විදුලි සමීක්ෂා 5 සැමරුම” පර්යේෂණ ලිපි එකතුව ජනගත කිරීමද සිදු විය.

රේඩියෝ සියවස සැමරීම නිමිත්තෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර පැවැත්වූ රේඩියෝ වැඩසටහන් නිෂ්පාදන තරගාවලියේ ජයග්‍රාහකයින්ට සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදනයේ පියා ලෙස සැලකෙන ඉංජිනේරු එඩ්වඩ් හාපර් මහතාගේ විශාලනය කළ ඡායාරූපයක් සියලුම රේඩියෝ නාලිකා ජාලයන් වෙනුවෙන් සංඛතාත්මක සිහිවටනයක් ලෙස පිරිනැමීය.

මෙම උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගලගෙදර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පැරණි හා වර්තමාන රේඩියෝ සන්නිවේදකයින්, විද්‍යුත් මාධ්‍ය විකාශකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.