දිවයින පුරා තිබූ සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 630 දක්වා පහළට

දිවයින පුරා තිබූ සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 630 දක්වා පහළට
  • SocialShare:

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සකස් කර තිබූ 1529ක් වූ සුරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රමාණය මේ වන විට 630 දක්වා අඩු වී ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (09) ජාතික ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය පැවති මාධ්‍ය සාකච්ඡවකට එක් වෙමිනි.

ඒ මහතා තවදුරටත් පවසා සිටියේ ගංවතුර හේතුවෙන් අපවිත්‍ර වූ දිවයින පුරා ඇති ළිං 1225ක් හා පාසල් 90ක්  ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් විසින් නැවත භාවිතයට ගත හැකි පරිදි පිරිසිදු කර අවසන් බවයි.

එමෙන්ම ආපදා තත්වය හේතුවෙන් අක්‍රීයව පැවති ජල පිරිපහදු මධ්‍යස්ථාන 152ක් අතුරින් 141ක් මේ වන විට සක්‍රීය කර ඇති අතර ආපදාවෙන් දැඩි ලෙස හානියට පත් වූ මධ්‍යම පළාතේ විදුලි සැපයුම මේ වන විට 95% ක් යථාතත්වයට පත් කර ඇති බව ඒ මහතා මෙහිදී කියා සිටියේය.

එතුමා පවසන පරිදි නායයෑම් හේතුවෙන් පේරාදෙණි, බදුල්ල, චෙක්කලාඩි මාර්ගය හා ගම්පොළ, නාවලපිටිය මාර්ගයත් පාලම් කැඩී යාම හේතුවෙන් පරත්තම්මූර්තුම් මාර්ගය තවදුරටත් වසා ඇති අතර ඒ හැර දිවයිනේ A ශ්‍රේණියේ මාර්ග ගමනාගමනය සඳහා විවෘතව පවතී.

ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සේවා සැලසීම හා යටිතල පහසුකම් යථා තත්වයට පත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය ආයතන තවදුරත් සක්‍රීයව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් 39 000 ක භට පිරිසක් හා ශ්‍රී ලංකාවේ සහයට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, පාකිස්තානය, ඉන්දියාවේ, ජපානයේ වෛද්‍ය හා ගලවා ගැනීමේ කණ්ඩායම් සහය දෙන බවත් ඒ මහතා කියා සිටියේය. එමෙන්ම තවදුරටත්  ඇමරිකානු ගුවන් හමුදාවට අයත් C130 වර්ගයේ යානා2ක් ද සහන සේවා මෙහෙයුම්වල යෙදී සිටියි.

මේ වන විට පුද්ගලයන් 17 37 330ක් ආපදාවට ලක් වී ඇති අතර, පුද්ගලයන් 63628ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැදී සිටිති. එමෙන්ම ඊයේ (09) පස්වරු 4 වන විට ලැබුණු තොරතුරු අනුව පුද්ගලයන් 638ක් මියගොස් ඇති බවත් 191 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.