කතරගම ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ පුහුණුව ලබාගත් තරුණ තරුණියන් 41 දෙනාම රැකියාගත කිරීමට ජාතික යොවුන් සේනාංකය සමත්ව තිබේ.
මෙම තරුණ තරුණියන් සියලු දෙනාම මේ වනවිටත් රැකියාගතව සිටීමෙන් ජාතික යොවුන් සේනාංකයේ වෘත්තීය පුහුණුවීම්වල ඇති ඉහළ ප්‍රමිතිය සහ ප්‍රායෝගිකත්වය පැහැදිලි වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ප්‍රකාශ කළේය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික යොවුන් සේනාංකයට අයත් කතරගම හෝටල් පුහුණු පාසලේ ගෘහපාලන (Hotel Housekeeping – NVQ Level 3) පාඨමාලාව සාර්ථකව නිම කළ පුහුණුලාභීන් 41 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කතරගම ජාතික යොවුන් සේනාංක පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම පාඨමාලාව හැදෑරූ සියලුම පුහුණුලාභීන් මේ වනවිටත් මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවී සිටීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව අදහස් දැක්වූ දිනිඳු සමන් හෙන්නායක මහතා පෙන්වා දුන්නේ තරුණ පරපුර හුදෙක් සහතිකයකට පමණක් සීමා නොකර සෘජුවම ආර්ථිකයට දායක විය හැකි වෘත්තිකයින් ලෙස සමාජගත කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවයි.
“මෙරට සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින අවධියක, ඊට සරිලන ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයින් බිහිකිරීමේ විශාල වගකීමක් අපට තිබෙනවා. අද සහතිකපත් ලබාගන්නා මෙම තරුණ තරුණියන් සියලු දෙනාම මේ වනවිටත් රැකියාගතව සිටීමෙන් ජාතික යොවුන් සේනාංකයේ වෘත්තීය පුහුණුවීම්වල ඉහළ ප්‍රමිතිය පැහැදිලි වෙනවා. රැකියා වියුක්තියට පිළිතුරක් ලෙස මෙවැනි වෘත්තීය පුහුණු වැඩසටහන් තවදුරටත් දීපව්‍යාප්තව පුළුල් කිරීමට අප කටයුතු කරනවා,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
හෝටල් ක්ෂේත්‍රයට පිවිසීමට කැමති වයස අවුරුදු 18ත් 28ත් අතර තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් නොමිලේ නවාතැන් සහ ආහාර පහසුකම් සහිතව මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
2014 වසරේදී දඹුල්ලෙන් ආරම්භ වූ මෙම සාර්ථක හෝටල් පුහුණු පාසල් ව්‍යාපෘතියේ මීළඟ අදියර ලෙස දඹුල්ල දිගම්පතහ නව හෝටල් පුහුණු පාසල ද මේ වසරේ නුදුරේදීම විවෘත කිරීමට නියමිත බව ජාතික යොවුන් සේනාංකය පවසයි.
මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, සභාපති නලින් රදම්පල, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහත්වරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.


