ඖෂධ වර්ග 350ක් සඳහා පාලන මිලක් නියම කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
රටේ භාවිතා වන ඖෂධවල මිල නියාමනය කිරීමේ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට හිමිවන බව සිහිපත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඒ අනූව 2016 හා 2017 වර්ෂ වල ඖෂධ කාණ්ඩ 60ක උපරිම සීමා මිලක් නියම කිරීම සිදුකෙරුණු බව පැවසුවේය.
පසුගිය 21 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ මිල නියාමනය කිරීමේ ක්‍රමවේදය සදහා ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බවද සදහන් කළේය.
පසුගිය මාස කිහිපය තුළ ඖෂධ සදහා මිල නියම කිරීම ඇරඹූ බවද එලෙස පසුගිය කාලය තුළ මිල නියම කරන ලද ඖෂධ 350ක ලයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කළ බවද වැඩිදුරටත් පැවසුවේය.
මෙම ඖෂධ ලයිස්තුව තුළ විවිධ ලෙඩ රෝග ගණනාවක් සදහා ලබාදෙන ඖෂධ අඩංගු වන බවද බොහෝ ඖෂධ සදහා සැලකිය යුතු මිල අඩු කිරීමක් හිමිවන බවද අවධාරණය කළේය.


