හෙරොයින් කිලෝග්‍රෑම් 323කට අධික තොගයක් නාවික හමුදා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 323කට අධික තොගයක් නාවික හමුදා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට
  • SocialShare:

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි සැලසුම් කළ නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා ද දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 323කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ඊයේ (01) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ අතර, එය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කර ඇත.

යාත්‍රාවේ තිබූ උර 19ක් තුළ තිබූ පාර්සල් 298ක් පිළිබඳව සිදුකළ විශේෂ පරීක්ෂණවලදී, එම පාර්සල් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 323කට අධික ප්‍රමාණයක් අඩංගු බව තහවුරු වී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා, බටහිර නාවික විධානයේ ආඥාපතිවරයා සහ නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) ද සහභාගී වී ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් හය දෙනා සහ ඔවුන් භාවිතා කළ සන්නිවේදන උපකරණ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

නාවික හමුදාව සඳහන් කරන්නේ, මෙම වසර තුළ පමණක් දේශීය බහුදින ධීවර යාත්‍රා 07ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වීථි වටිනාකම රුපියල් බිලියන 40කට ආසන්න බවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, වෙළඳාම හෝ ඇනවුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් 1818 හෝ 1997 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ද නාවික හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටී.