නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම සිදු වූ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
නැගෙනහිර ඉන්දුනීසියාවේ අද අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කර තිබේ. මෙම භූමිකම්පාව මලූකු මුහුද (Molucca Sea) ප්‍රදේශයේ, ඉන්දුනීසියාවේ ටර්නාටේ දූපතට අසල ප්‍රදේශයක, කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් සිදුව ඇති බව සඳහන් වේ.
භූමිකම්පාවෙන් පසු එහි කේන්ද්‍රය සිට කිලෝමීටර් 1,000ක පරාසයක් තුළ භයානක සුනාමි රළ ඇති විය හැකි බවට ඇමෙරිකානු අනතුරු ඇඟවීම් මධ්‍යස්ථාන විසින් මුලින් අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හවායිහි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයන්ට සුනාමි රළ ඇති විය හැකි බවයි. විදෙස් වාර්තා අනුව, මෙම භූමිකම්පාවෙන් පසු කුඩා සුනාමි රළ කිහිපයක් සහ පසුකම්පන (aftershocks) කිහිපයක්ද වාර්තා වී ඇති අතර, එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ද සඳහන් වේ.


