2030 වනවිට කුළුබඩු අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) කෑගල්ලේ පැවති කුළුබඩු ආශ්‍රිත පොකුරු ගම්මාන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
ආහාරවල හිඟයක් නොමැතිව ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කුළුබඩු ආශ්‍රිත පොකුරු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 1200ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදල යොදා ගනිමින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම අභියෝගයක් බවද ඔහු පැවසීය. එසේම ගොවි ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීම තම අමාත්‍යාංශයට ජනාධිපතිවරයා විසින් භාරදී ඇති ප්‍රධාන වගකීමක් බවද සඳහන් කළේය.
පොකුරු ගම්මාන වැඩසටහන මඟින් ගොවි ජනතාවට පෙර නොලැබුණු ආර්ථික ලාභය ඉක්මනින් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ව්‍යවසායකයන් යනු නව අදහස් ක්‍රියාත්මක කිරීමට සහ අභියෝග භාර ගැනීමට සූදානම් පුද්ගලයන් බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම වසර තුළ දිවයින පුරා පොකුරු ගම්මාන 200ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 2030 වනවිට එම සංඛ්‍යාව ගම්මාන 500ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. කුළුබඩු කර්මාන්තයේ නියැලෙන වගාකරුවන්, නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් එක් කර සාමූහික කණ්ඩායම් ලෙස ගොඩනගා ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදනවල අනන්‍යතාවය විදේශ වෙළඳපොළ තුළ තහවුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
මෙම වැඩසටහන යටතේ තෝරාගත් ගම්මානවල අපනයන කෘෂි නිෂ්පාදන සමිති පිහිටුවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නියමිතය. පළමු වසර දෙක තුළ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ මූලික වගා තාක්ෂණය වගාකරුවන් වෙත ලබාදීම සිදු කරන අතර ඉන් අනතුරුව ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සහතිකකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන කරා යොමු කිරීම සිදු කරනු ඇත. එමෙන්ම පසුව විදේශ වෙළඳපොළ සමඟ සම්බන්ධීකරණය කිරීමද සිදු කිරීමට නියමිතය


