2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කිරීම සඳහා රජය විසින් පුළුල් ඩිජිටල් ආර්ථික මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග විරරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන වැඩසටහන් හා 2026 වර්ෂය සඳහා සැලසුම් කර ඇති සංවර්ධන යෝජනා පිළිබඳ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඩිජිටල්කරණය කිරීමේ ප්‍රධාන කර්තව්‍යයන් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය, ඩිජිටල් කර්මාන්ත සංවර්ධනය, ඩිජිටල් ආර්ථික ව්‍යාප්තිය, ඩිජිටල් ඉංජිනේරු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සහ ඩිජිටල් මාධ්‍ය භාවිතා කරන අනෙකුත් ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යන කරුණු පහක් හඳුනාගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
E-commerce සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා මුදල් නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු ඩිජිටල් මාධ්‍යට පරිවර්තනය කර, රටේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට ඕනෑම ස්ථානයකින් ඕනෑම වේලාවක ගනුදෙනු කිරීමට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවද පැවසීය.
රාජ්‍ය සේවයේ නිලධාරීන්ට සහ සාමාන්‍ය ජනතාවට ඩිජිටල් මාධ්‍ය භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජන ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම්, Mobitel, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව, දත්ත ආරක්ෂණ අධිකාරිය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම සෘජුවම දායක වන බවද සඳහන් කෙරිණි.
ඩිජිටල් ආර්ථික පනත හරහා ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවමින් සියලු රාජ්‍ය ආයතන එකම ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන ඒමට පියවර ගන්නා බවත්, සයිබර් ආරක්ෂණ පනත හඳුන්වා දීමෙන් සයිබර් අවකාශයෙන් ඇතිවන අවදානම්වලට මුහුණ දීමට සූදානම් වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඩිජිටල්කරණය සඳහා පසුගිය අයවැයෙන් ඩිජිටල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 16.5ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර, මෙම ක්‍රියාවලිය රජය පමණක් නොව පෞද්ගලික අංශයේ සම්බන්ධතාවයද අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
GovPay ඩිජිටල්කරණයේ සාර්ථක ආරම්භයක් බවත්, ස්ථානීය රථ වාහන දඩ ගෙවීම් ඇතුළු සේවාවන් QR ගෙවීම් ක්‍රමයට වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් විය.
මෙම වසර අවසන් වන විට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම, “සුපර් ඇප්” පද්ධතිය හඳුන්වා දීම, රාජ්‍ය සේවාවන්ට AI තාක්ෂණය එක් කිරීම, ගම් මට්ටමින් විදුලි සංදේශ යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීම සහ සිම් කාඩ් ලියාපදිංචිය නිසි පරිදි සිදු කිරීමද සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


