වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ වීම හා සමගාමීව, වියට්නාමය සහ නැගෙනහිර ආසියාවේ අනෙකුත් රටවලින් බෞද්ධ වන්දනාකරුවන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් සකස් කළ “බුද්ධ වන්දනා” (Buddha Wandana) බෞද්ධ වන්දනා සංචාර පැකේජය ඊයේ(16) කොළඹදී එළිදැක්විණි. මෙම වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යෝජනාවක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන මඟින් සංචාරක ව්‍යාපාරය ග්‍රාමීය ප්‍රදේශ සහ ප්‍රාදේශීය ප්‍රජාවන් වෙත ව්‍යාප්ත කරමින් දේශීය සංචාරක සේවා සපයන්නන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ග්‍රාමීය ජනතාව සඳහා නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ. එමෙන්ම, රජයේ සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයේ ප්‍රතිපත්තියට අනුකූලව පුළුල් ආර්ථික ප්‍රතිලාභ ලබාදීමට ද මෙම වැඩසටහන දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව අමතමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ, බෞද්ධ වන්දනා සංචාර පැකේජය ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන විවිධාංගීකරණය කිරීමටත්, වියට්නාම වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීමටත් ඉවහල් වන බවයි.
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි අතිගරු ට්‍රින් ති ටම් මහත්මිය ද මෙම වැඩසටහන අගය කළ අතර, දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් වනු ඇතැයි විශ්වාසය පළ කළාය.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා 2026 අගෝස්තු 18 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර, එමඟින් දෙරට අතර සංචාරක, වෙළෙඳ හා ජනතා හුවමාරු තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


