බස් ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

බස් ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
  • SocialShare:

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව සෑම වසරකම ජූලි 1 වැනිදා බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු අතර, ඒ අනුව 2026 වසර සඳහා ගාස්තු සංශෝධනය සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම සංශෝධනයේදී 2026 පෙබරවාරි මාසයේ සිට මැදපෙරදිග කලාපයේ පැවති යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිලෙහි ඇති වූ උච්චාවචනයන්, අනෙකුත් ධාවන වියදම්, බස් රථ අමතර කොටස්වල මිල ගණන්, ඇමෙරිකානු ඩොලරයේ විනිමය අනුපාතයේ වෙනස්වීම්, අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සහ පත්ල පහත් බස් රථ ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගෙන ඇත.

මහජනතාවට අඛණ්ඩ ප්‍රවාහන සේවාවක් සැපයීම සහ බස් කර්මාන්තයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ අරමුණින්, දැනට පවතින බස් ගාස්තු සූත්‍රය (පිරිවැය දර්ශකය) සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පත් කළ කමිටුවේ නිර්දේශ ද මෙම තීරණයට පදනම් වී ඇත.

එමෙන්ම, 2026 ජූනි 30 වැනිදා සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල සංශෝධනයද සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.