2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය සහාය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
අදාළ හානිය සහ අවශ්‍යතාව තක්සේරු කිරීම් අනුව, සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 ක භෞතික හානි සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක ආර්ථික හානි සිදුව ඇති අතර, සමස්ත ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ වන බව සඳහන් වේ.
මෙම ආපදා අවස්ථාවේදී ඉන්දීය රජය විසින් ‘සාගර බන්ධු මෙහෙයුම’ යටතේ ආපදා සහන හා හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදී ඇති අතර, 2025-12-22 දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර පැවති සාකච්ඡාවලදී තවදුරටත් ආපදා සහන පැකේජයක් ලබාදීමට එකඟතාව පළ කර ඇත.
ඒ අනුව ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක සහන පැකේජයක් යෝජනා කර ඇති අතර එය ණය සහ ප්‍රදාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ.
එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක ණය පහසුකමක් යටතේ දිගුකාලීන ණය (USD 250 million) සහ කෙටිකාලීන ණය (USD 100 million) ඇතුළත් වේ. එමෙන්ම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක් යටිතල පහසුකම්, සම්බන්ධතා, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස, ජල සම්පාදන සහ ආපදා කළමනාකරණ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ලබාදීමට නියමිතය.


