කලාපීය සහයෝගීතාවය තුළින් සෞඛ්‍ය හා ආර්ථික පිරිවැය මෙන්ම පරිසර හායනය අවම කරමින් සියලු පුරවැසියන්ට පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර පරිසරයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවී සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය.
තායිලන්තයේ බැංකොක් නුවරදී අද (01) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කොමිසම (UNESCAP) සංවිධානය කළ පරිසර හා සංවර්ධනය පිළිබඳ කමිටුවේ 9 වැනි අමාත්‍ය මට්ටමේ සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ආසියා-ශාන්තිකර කලාපයේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා UNESCAP ලේකම් කාර්යාලය ඉටුකරන කාර්යභාරය ශ්‍රී ලංකාව මෙහිදී ඇගයීමට ලක් කළ අතර, කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ලේකම් කාර්යාලය දරන කැපවීම වෙනුවෙන් විශේෂ ස්තූතියද පළ කළේය.
දේශගුණික විපර්යාස හේතුවෙන් කුඩා දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව ද අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, 2025 වසරේ දකුණු ආසියානු කලාපයට බලපෑ ගංවතුර, අධික වර්ෂාපතනය, මුහුදු මට්ටම ඉහළ යාම සහ කුණාටු තත්ත්වයන් හේතුවෙන් භූගත ජල මූලාශ්‍ර ලවණීකරණය වීම ආහාර සුරක්ෂිතතාවයට හා මහජන සෞඛ්‍යයට සෘජු බලපෑම් එල්ල කරන බව අවධාරණය කළේය.
මෙම අභියෝග ජය ගැනීම සඳහා හුදෙකලා ප්‍රතිපත්ති වෙනුවට දේශගුණික ක්‍රියාමාර්ග, සොබාදහම පදනම් කරගත් විසඳුම් (Nature-based Solutions) සහ තිරසාර නාගරික සංවර්ධනය ඒකාබද්ධ කරන නව්‍ය හා සහසම්බන්ධිත ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
ජල කළමනාකරණය සඳහා අයිතිවාසිකම් පදනම් කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය සහ ජාතික මට්ටමින් තීරණය කරන ලද දායකත්වයන් (NDCs) තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම, ආර්මේනියාවේ පැවැත්වීමට නියමිත ජෛව විවිධත්වය පිළිබඳ COP17 සමුළුවට සහ ඕස්ට්‍රේලියාවේ හා තුර්කියේ පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාස පිළිබඳ COP31 සමුළුව ඇතුළු ඉදිරි රියෝ සම්මුතීන් සඳහා ශ්‍රී ලංකාව සක්‍රීය දායකත්වය ලබාදීමට සූදානම් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


