ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව Cardiac Catheterization Laboratory (කැත් රසායනාගාර) ඒකක දෙකක් සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය හෙට (02) සිට රෝගී ප්‍රතිකාර සේවා සඳහා නිල වශයෙන් එක් කිරීමට නියමිතය.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම, විධිමත් සහ නවීන තාක්ෂණයෙන් යුක්ත කිරීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක නව වැඩපිළිවෙලක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
එම වැඩපිළිවෙලට අනුව, ජාතික රෝහලේ අලුතින් පිහිටුවන ලද Cardiac Catheterization Laboratory Complex සහ නවීකරණය කරන ලද Cardiology Day Case Unit නිල වශයෙන් හෙට පස්වරු 3.00ට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා සේවයට එක් කිරීමට නියමිතය.
ආසියානු සංවර්ධන බැංකුව (ADB) මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම කැත් රසායනාගාර ඒකක ස්ථාපිත කර ඇත.
මෙම සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීන කැත් රසායනාගාර ඒකක හතරක් එක් කිරීම විශේෂත්වයකි. පසුගිය 27 වනදා යාපනය ශික්ෂණ රෝහලේ කැත් ලැබ් එකක් සේවයට එක් වූ අතර, ඊයේ (30) දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කළුබෝවිල කැත් ලැබ් ඒකකයද ජනතා සේවයට එක් කෙරිණි.
මෙම නවීන තාක්ෂණික කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් වූ තත්කාලීන රූපකරණ තාක්ෂණය ඇතුළත් වන අතර, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් උසස් ගුණාත්මක රූප ලබා ගැනීමේ හැකියාවද මෙහි විශේෂත්වයකි.
මෙම වැඩපිළිවෙල හරහා රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂම කරමින් රෝහල් පොරොත්තු ලේඛන අවම කිරීම, වේගවත් හා නිවැරදි රෝග විනිශ්චය ලබාදීම මෙන්ම රෝගී ජනතාවට වඩාත් පහසු සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික රෝහලේ පරිපාලන නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය සේවකයින් එක්වීමට නියමිත බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්) වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කරයි.


