රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ඊයේ (30) ගොවිජන මන්දිරයේ පැවති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන “FRIENDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නංවා ආනයන මත පවතින යැපීම අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවද ඔහු පැවසීය.
ගලේවෙල, නාඋල, මහියංගණය, රිදීමාලියද්ද සහ කොබෙයිගනේ ප්‍රදේශ ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් රටකජු නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවිතැන් කටයුතු යාන්ත්‍රිකකරණය කිරීම සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම අපේක්ෂා කෙරේ.
ලක්ෂ 63ක පමණ වටිනාකමකින් යුත් ට්‍රැක්ටර් නිසි පරිදි භාවිත කිරීම, ඒවා පිළිබඳ අඛණ්ඩ පසුවිපරම් සිදු කිරීම සහ ගොවි සංවිධාන වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ආනයන ආදේශන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත්, ගොවීන්ගේ නිෂ්පාදන ජාතික ආහාර සුරක්ෂිතතාවට සෘජුවම දායක වන බැවින් නිෂ්පාදකයාගේ මෙන්ම පාරිභෝගිකයාගේ යහපත පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගැනීම සහ නිෂ්පාදනවලට අගය එකතු කිරීම සඳහා රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
පසුගිය වසරේ මුං ඇට ආනයනය නතර කිරීමට හැකි වූ ආකාරයටම රටකජු ආනයනයද අවම කිරීම සහ ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළඳපොළක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


