චීනයේ ෂැන්හයි නුවර පැවති "MWC Shanghai 2026" ජාත්‍යන්තර සමුළුවට සමගාමීව, ආසියා-ශාන්තිකර (APAC) කලාපයේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම සහ වර්ධනය වෙමින් පවතින මූල්‍ය වංචා හා කූටෝපායන්ට (Scams and Fraud) විසඳුම් සෙවීම අරමුණු කරගත් විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් ඊයේ(25) ෂැන්හයි නුවරදී පැවැත්විණි.
GSMA ආයතනය සංවිධානය කළ මෙම සංවෘත (Closed-door) සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහභාගී වූ අතර, කලාපීය ඩිජිටල් ආර්ථිකය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම එහිදී අවධාරණය කෙරිණි.
සාකච්ඡාවේදී ආසියා-ශාන්තිකර සහ ASEAN කලාපීය රටවල පාරිභෝගික ආරක්ෂාව, ඩිජිටල් සේවා සහ ආර්ථික ස්ථාවරත්වයට බලපාන සීමාන්තර (Cross-border) වංචනික ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් හා නියාමන ආයතන අතර සමීප සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය විය.
විශේෂයෙන්ම, කෘතිම බුද්ධිය (AI) සහ ස්වයංක්‍රීයකරණය (Automation) යොදා ගනිමින් සිදුකරන නවීන වංචා හමුවේ, ඒවාට ප්‍රතිචාර දැක්විය හැකි ශක්තිමත් ඩිජිටල් ආරක්ෂණ පද්ධති සහ ප්‍රතිපත්තිමය විසඳුම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.
"Building a Secure and Resilient Digital Future: AI, Automation and the Next Frontier of Anti-Scam Defence" යන තේමාව යටතේ පැවති දෙවන සාකච්ඡා වටයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඇතුළු පැනල සාමාජිකයන් පෙන්වා දුන්නේ, වංචා මැඩලීම සඳහා නව තාක්ෂණික විසඳුම් සංවර්ධනය, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම සහ AI තාක්ෂණයේ අවදානම් කළමනාකරණය කරමින් එහි ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගැනීමේ වැදගත්කමයි.
එමෙන්ම, රටවල් අතර නීතිමය පද්ධති වෙනස් වුවද, පොදු මූලධර්ම හා අත්දැකීම් හුවමාරු කරගනිමින් ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවද මෙහිදී අවධාරණය කෙරිණි.
GSMA ආයතනයේ ආසියා-ශාන්තිකර කලාපීය පොදු ප්‍රතිපත්ති හා බාහිර කටයුතු ප්‍රධානී ජෙනට් වයිට් මහත්මියගේ පිළිගැනීමේ කතාවෙන් ආරම්භ වූ මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා ඇතුළු තායිලන්තය, මාලදිවයින, මැලේසියාව සහ චීනය නියෝජනය කළ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.


