ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි දිනයට සමගාමීව, "රටම එකට " මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අද (26) ක්‍රියාත්මක කෙරිණි.
එහි ප්‍රධාන වැඩසටහන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කළ දැනුවත් කිරීමේ පාගමන කොළඹ වරාය නගරයේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා අද උදෑසන සාර්ථකව පැවැත්විණි.
පසුගිය ඔක්තෝබර් 30 දින ආරම්භ කර මාස අටක් පුරා ක්‍රියාත්මක වන "රටම එකට " ජාතික වැඩසටහනට සමගාමීව පැවති මෙම පාගමන සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, පුනරුත්ථාපන කාර්යාංශය, ජාතික තරුණ සේවා සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් එක්ව සිටියහ.
"මතින් තොර දේශයක් කරා අභිමානවත්ව පිය නගමු" යන තේමාව යටතේ පැවති මෙම පාගමන සඳහා පොලිස් නිලධාරීන්, තරුණ තරුණියන් ඇතුළු දහසකට අධික පිරිසක් එක්වූ අතර, මාර්ගයේ ගමන්ගත් ජනතාවට දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදෙමින් මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මහජන සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කළහ.
එමෙන්ම, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීම සඳහා වන 1818 ක්ෂණික දුරකථන අංකය සහ පුනරුත්ථාපන කාර්යාංශය මඟින් ලබාදෙන සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද මෙහිදී ප්‍රමුඛත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පාගමන සඳහා පොලිස් හා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම් මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ නර්තන හා සංස්කෘතික කණ්ඩායම්ද එක්වී මහජන අවධානය දිනාගත්හ.
මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් හා භාවිතය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට ලබාදෙමින් රටම එකට මෙම ජාතික මෙහෙයුමට දායක වන ලෙසද මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරිණි.


