මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය හෙට (26)ට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
මෙම වැඩසටහන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, රටම එකට ජාතික මෙහෙයුම් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරයි. “ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව හමුවේ පවතින අභියෝග සඳහා නව ප්‍රතිචාර” යන තේමාව යටතේ මෙවර සැමරුම් පැවැත්වෙන අතර, මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැදගත්කම ඒ මඟින් අවධාරණය කෙරේ.
මෙයට සමගාමීව කොළඹ චෛත්‍ය පාරේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා විශේෂ දැනුවත් කිරීමේ පාගමනක් හෙට පෙරවරු 8.00ට ආරම්භ කිරීමට නියමිත අතර, රට පුරා දිස්ත්‍රික්ක 14ක මත්ද්‍රව්‍ය නිවාරණ හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද සංවිධානය කර ඇත.


