යම් පුරප්පාඩු ප්‍රමාණයක් පැවතියද රටේ ජනතාවගේ විශ්වාසය යළි ගොඩනැගෙන පරිදි අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව සිදුකරන සේවය සම්බන්ධයෙන් රජය ස්තුතිය පළ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පුරප්පාඩු පැවතියද අධිකරණ පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර මේ වන විටත් නඩු විභාග කරමින් තීන්දු ලබාදෙමින් සිටින බවයි.
විපක්ෂයේ වැඩි අවධානය යොමුව ඇත්තේ පුරප්පාඩු නොපිරවීම පිළිබඳව නොව, දිනපතා නඩු ඇසීම, තීන්දු ලබාදීම, නඩු දින ප්‍රකාශයට පත් කිරීම සහ එම තීන්දු හරහා ජනතාව අතර අධිකරණය පිළිබඳ විශ්වාසය ගොඩනැගෙමින් පැවතීම සම්බන්ධයෙන් බවද අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා පාර්ලිමේන්තුව සහ මාධ්‍ය සාකච්ඡා යොදා ගනිමින් විවිධ අදහස් පළ කරන බවද ඔහු සඳහන් කළේය.
එසේම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කරන ලෙස විවිධ ක්ෂේත්‍රවලින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවත්, මීට පෙර එවැනි ඉල්ලීමක් සලකා බලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කළ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කරන ලෙසත්, එසේ නොකරන ලෙසත් ඉල්ලීම් ලැබී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.


