ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
  • SocialShare:

ජපාන රජයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව (JDS) වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා ලබාදීමට එකඟ වී ඇති ප්‍රදාන ආධාර ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2010 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ තරුණ විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ජපානය අඛණ්ඩව සහය දක්වමින් සිටී.

ජාතික සංවර්ධන ප්‍රමුඛතා යටතේ උසස් අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය ප්‍රවීණතාව සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව සලසා දීම මගින් ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ ධාරිතාව ශක්තිමත් කිරීමට මෙම වැඩසටහන සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ජපාන රජයේ නිල සංවර්ධන සහයෝගිතා රාමුව යටතේ මූල්‍ය කරනු ලබයි.

වාර්ෂිකව රාජ්‍ය නිලධාරීන් 15 දෙනෙකුට පමණ ශිෂ්‍යත්ව පිරිනමන මෙම වැඩසටහන මඟින් මේ වන විට පශ්චාත් උපාධි පාඨමාලා 255ක් සහ ආචාර්ය උපාධි පාඨමාලා 16ක් සඳහා අවස්ථා ලබාදී ඇත.

ඒ අනුව 2026 වර්ෂය සඳහා ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 575ක් පමණ) ප්‍රදානය ලබා ගැනීමට ජනපති අනුර කුමාර දිසානායක  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.