නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් තහුවරු කිරීමට රජය කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, පසුගියදා ඉන්දියානු රජයේ ආධාර ඇතිව ඩෙල්ෆ්, අනලතිව් හා නයිනතිව් (නාගදීපය) යන දූපත් සදහා ඉදිකෙරෙන හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ව්‍යපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 11කට ආසන්න ආයෝජනයකින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 1.7ක සූර්ය බලශක්ති බලාගාරයක්, කිලෝවොට් 750ක සුළං විදුලි බලාගාරයක් සහ මෙගාවොට් පැය 2.4ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ඒකාබද්ධ කර හයිබ්‍රිඩ් මයික්‍රෝග්‍රිඩ් පද්ධතියක් ස්ථාපිත කෙරේ.
මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
“මෙම විදුලි ව්‍යපෘතිය සම්පූර්ණ වීමෙන් පසු, දූපත්වාසීන්ගේ ජීවන තත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරනවා. ජනතාවට දවසේ පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම, පොසිල ඉන්ධන දහනය අවම කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම හා ස්ථාවර බලශක්ති සැපයුමක් වැනි නව රජයේ අරමුණු ඉටුකරගැනීමට මෙම ව්‍යපෘතියෙන් අපෙක්ෂා කරනවා. අඛණ්ඩ, ස්ථාවර විදුලි සැපයුමක් ලැබීම නිසා විශේෂයෙන්ම ධීවර කර්මාන්තය ඇතුළු ආර්ථික කටයුතු දියුණු වන අතරම, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් වැනි මහජන සේවාවන්ගේ ගුණාත්මකභාවයද ඉහළ යාමද සතුටට කරුණක්.”
නව පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් දූපත් තුනේ ජනතාවට පැය 24 පුරා ස්ථාවර හා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකි වන අතර, දැනට භාවිත වන අධික පිරිවැයක් සහිත ඩීසල් ජනන පද්ධති මත ඇති යැපීමද අවම වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම ව්‍යාපෘතිය මඟින් පොසිල ඉන්ධන භාවිතය හා හරිතාගාර වායු විමෝචනය අඩු කරමින් තිරසාර බලශක්ති පද්ධතියක් ගොඩනැගීමේ අපේක්ෂාවක් පවතින අතර, ධීවර කර්මාන්තය, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සංවර්ධනයටද මෙය දායක වනු ඇත.
මෙම අවස්ථාව බලශක්ති අමාත්‍යාංශ ලේකම් ජී.එම්.ආර්.ඩී අපෝන්සු, යාපනය - ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ශ්‍රී ශංකරන් රාජ්ගෝපාලන්, සුනිත්‍ය බලශක්ති අධිකාරයේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර ජේ බණ්ඩාර ඇතුලු විදුලිබල ක්ෂේත්‍රය නියෝජනය කරන ආයතනවල ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


