වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් තැඹිලි වගාව විධිමත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (11) සවස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අවධානය යොමු වූයේ දැනට විසිරී පවතින තැඹිලි වගාව ක්‍රමවත්, ප්‍රමිතිගත සහ අපනයන-අභිමුඛ කෘෂි ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමයි. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා ගැලපෙන නිෂ්පාදන ප්‍රමිතීන් සකස් කිරීම, සැපයුම් දාමය ශක්තිමත් කිරීම සහ අපනයනකරුවන් සමඟ ඍජු සබඳතාවන් ගොඩනැඟීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. තවද, මෙම ව්‍යාපෘතිය සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ප්‍රජාව සක්‍රීයව දායක කරගනිමින්, නිසි අධීක්ෂණ යාන්ත්‍රණයක් යටතේ ජාතික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය සැලසුම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
මෙම නව ව්‍යාපෘතිය හරහා තැඹිලි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.8 ක ඉලක්කයක් කරා ගෙන යාම අරමුණ කරගෙන ඇති අතර, ඒ සඳහා වගාකරුවන් ලියාපදිංචි කිරීම, කලාපීකරණය මඟින් වගා කළමනාකරණය, අගය එකතු කළ නිෂ්පාදන දියුණු කිරීම සහ ඩිජිටල්කරණය වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට යෝජනා විය. එමෙන්ම වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය මඟින් තැඹිලි වගාව පුනරුත්ථාපනය සහ නව වගාවන් සිදු කිරීමේදී ගොවීන් මෙම වගාව සඳහා ආකර්ෂණය කිරීම, වගාවට සුදුසු පෝෂක ලබාදීම, ජල සැපයුම් පද්ධති ස්ථාපිත කිරීම, පොහොර සහ අනෙකුත් සහනාධාර ලබාදීම වැනි කරුණු පිළිබඳව සහ මෙම ව්‍යාපෘතිය නිශ්චිත කාලරාමුවකට අනුව ඉලක්කගතව ක්‍රියාත්මක විය යුතු බවත්, ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් එක්කර ගනිමින්, ග්‍රාමීය දිළිඳු බව තුරන් කරමින්, අඛණ්ඩ අධීක්ෂණ හා ප්‍රගති සමාලෝචන ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු බවත්ය.
මෙම සාකච්ඡාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරීන්, පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහභාගී වූහ.


