හදිසි නීතිය ජනතාව පීඩාවට පත් කිරීමට යොදා ගෙන නැහැ - අධිකරණ අමාත්‍ය

හදිසි නීතිය ජනතාව පීඩාවට පත් කිරීමට යොදා ගෙන නැහැ - අධිකරණ අමාත්‍ය
  • SocialShare:

හදිසි නීතිය ජනතාව පීඩාවට පත් කිරීමට යොදා ගෙන නොමැති බැවින් කිසිදු බියකින් තොරව ආණ්ඩුව විචේචනය කරන ලෙසත් එසේ සිදු කරන පිරිස් යටපත් නොකරන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

හදිසි නීතිය දීර්ඝ කිරීමේ පාර්ලිමේන්තු විවාදයට අද (09) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව භාෂණයේ නිදහස මර්දනය නොකරන බවත් ත්‍රස්ත විරෝධී පනත අහෝසි කර ඉදිරි මාස දෙක තුළ නව පනතක් ගෙන එන බවත් ය.
එසේම නීතිය සැමට එක බව පෙන්වා දුන් අමාත්‍යවරයා විනිසුරුවරුන් මාරු කිරීමට විධායකය හෝ ආණ්ඩුව මැදිහත් නොවන බවත් ව්‍යවස්ථාපිතව ස්ථාපිත කර ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් එම කටයුතු සිදු කෙරෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බව රජය ජනතාවට පොරොන්දු වූ බවත් එම වරදකරුවන් සාක්ෂි මත අධිකරණයට යොමු කරමින් වින්දිතයින්ට යුක්තිය ඉටු කරන බවත් විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තවද ජනතාව පත් කළ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ආණ්ඩුවක් බවත් ඒ පිළිබද ජනතාවට සතුටු විය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.