අලිමංකඩ තුනක් අලි ඇතුන් වෙනුවෙන් නිදහස් කෙරේ

අලිමංකඩ තුනක් අලි ඇතුන් වෙනුවෙන් නිදහස් කෙරේ
  • SocialShare:

දීර්ඝ කාලයක සිට මෙරට ග්‍රාමීය ජනතාවට මෙන්ම වන අලි සම්පතට ද දැඩි තර්ජනයක්ව පවතින අලි-මිනිස් ගැටුමට ප්‍රායෝගික හා ස්ථිරසාර විසඳුම් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ රජයේ කඩිනම් මැදිහත්වීම මත මෙතෙක් අවහිර වී තිබූ ප්‍රධාන අලිමංකඩවල් (Elephant Corridors) තුනක් වන අලින්ගේ නිදහස් සැරිසැරීම වෙනුවෙන් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති අලිමංකඩ තුනක් අලි ඇතුන් වෙනුවෙන් නිදහස් කිරීම හා එහි ඉදිරි කටයුතු පිළිබඳ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව , හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැටහිරකන්ද සහ හදපානාගල අලිමංකඩවල් දෙක සහ මොණරාගල දිස්ත්‍රික්කයේ කොහොලංකල අලිමංකඩත් වන අලින්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග ලෙස නැවත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය කාලවල අක්‍රමවත් සංවර්ධන වැඩසටහන් හා අවිධිමත් ඉඩම් ලබාදීම් හේතුවෙන් මෙම අලිමංකඩවල් අවහිර වී තිබූ බවත් එම තත්ත්වය අලි-මිනිස් ගැටුම තීව්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූ බවත් එම ගැටලු නිරාකරණය කරමින් නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග මඟින් මෙම ඉඩම් නැවත වන සතුන් වෙනුවෙන් වෙන් කිරීමට රජය තීරණාත්මක පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

අලි ගම්වැදීම අවම කිරීම සඳහා වන රක්ෂිත තුළ “අලි සුපෝෂණ කලාප” ස්ථාපිත කිරීමටද සැලසුම් කර තිබේන බවද අමාත්‍යවරයා පැවසුවේය. ඒ යටතේ වන අලින්ට අවශ්‍ය ස්වාභාවික ආහාර වන තණකොළ සහ අනෙකුත් ශාක වගා කිරීමත්, වියළි කාලවලදී ජල අවශ්‍යතා සපුරාලීම සඳහා වැව් හා දියකඩවල් ප්‍රතිසංස්කරණය කිරීමත් සිදු කෙරෙනු ඇතැයිද සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ මඟින් වන අලින්ට තම වාසස්ථාන තුළම ප්‍රමාණවත් ආහාර හා ජලය ලබාගැනීමේ හැකියාව ලැබෙන බැවින්, ගම්මාන වෙත පැමිණීම සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් සැලසුම් කළ ජාතික වැඩසටහනක් ද ක්‍රියාත්මක බව පැවසූ අමාත්‍යවරයා, කෙටිකාලීනව පවතින විදුලි වැටවල් ප්‍රතිසංස්කරණය කිරීම, නව විදුලි වැටවල් ඉදිකිරීම, පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණික ක්‍රම හඳුන්වාදීම සහ වනජීවී නිලධාරීන්ගේ පැය 24 ජංගම මුර සංචාර ශක්තිමත් කිරීම සිදුකරන බව පැවසීය.

මධ්‍යකාලීන වැඩපිළිවෙළ යටතේ ගම්මාන වටා ඉදිවන විදුලි වැටවල් ප්‍රචලිත කිරීම සහ අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන ජනතාවට ලබාදෙන වන්දි ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා සාධාරණ ලෙස සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැවසුවේය.

දිගුකාලීන තිරසාර විසඳුම් ලෙස මෙරට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය (Land Use Policy) නැවත සමාලෝචනය කර වනජීවී කලාප සහ මානව ජනාවාස වෙන් කෙරෙන විද්‍යාත්මක මායිම් සලකුණු කිරීමටත්, ලංකාවේ සියලුම අලිමංකඩවල් නීත්‍යානුකූලව ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, Drone සහ චන්ද්‍රිකා තාක්ෂණය වැනි නවීන මෙවලම් උපයෝගී කරගනිමින් වන අලි ගහනය සහ ඔවුන්ගේ හැසිරීම් රටා නිරන්තර නිරීක්ෂණයට ලක් කිරීමටත් සැලසුම් කර ඇතැයිද  පැවසීය.

වන අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම සඳහා 1995 ඒකාබද්ධ වන සුරැකුම් මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් වන අලින්ගේ පැවැත්මත් ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන් ආරක්ෂා කිරීමත් අතර සමබරතාවයක් ඇති කරමින් ඉදිරියටත් ප්‍රායෝගික හා තිරසාර තීරණ ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.