පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 දෙනෙකු සඳහා ක්‍රීඩා ශක්ති අරමුදලින් පෝෂණ දීමනා ලබා දේ

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 දෙනෙකු සඳහා ක්‍රීඩා ශක්ති අරමුදලින් පෝෂණ දීමනා ලබා දේ
  • SocialShare:

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩා ශක්තිය අරමුදල හරහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 දෙනෙකු සඳහා රුපියල් 10,000ක පෝෂණ දීමනාවක් ලබාදීම අද (08) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවේදීම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කෙනෙකු සඳහා සංකේතාත්මකව මෙම දීමනාව ප්‍රදානය කිරීම සිදු කෙරුණි.

එම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හේන්නායක මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතා එක්වූහ.

පළාත් මට්ටමේ සංචිතවල සිටින අවුරුදු 18න් පහළ වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු, මලල ක්‍රීඩා යන ක්‍රීඩාවන්හි නිරත වන සිසුන්ට සහ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සහ ජාතික මට්ටමේ දක්ෂතා දක්වන සිසුන් ද මේ සඳහා ඇතුළත් වේ. ඒ අනුව ජිම්නාස්ටික්, බර ඉසිලීම, බැඩ්මින්ටන්, මේසපන්දු, මල්ලවපොර, බොක්සිං, කරාතේ දෝ, ජූඩෝ, හොකී, පිහිනුම්, පැසීපන්දු, කබඩි, ටයිකොන්ඩෝ, ස්කොෂ්, කැරම් යන තරග ඉසව්වලින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම දීමනාව ලබා දෙයි.

යොවුන් සහ කණිෂ්ඨ මට්ටමේ සුවිශේෂී දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ පුහුණුවීම් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම අරමුණු කරගනිමින්, මේ සඳහා මසකට රුපියල් 10,000 බැගින් මාර්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා රුපියල් ලක්ෂයක පෝෂණ දීමනාවක් ලබාදීම, විධිමත් දීර්ඝකාලීන පුහුණුවක් තුළින් ජාතික ක්‍රීඩා සංචිතවලට සහ උසස් කාර්ය සාධන සංචිතවලට ඇතුළත් වීමේ අවස්ථාව උදා කර දීම, ජාතික මට්ටමේ දක්ෂතා පදනම් කර ගනිමින් ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදීම, ක්‍රීඩාවේ දෙවනපෙළ සංචිතයක් පවත්වාගෙන යාම තුළින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයට අත්වැලක් සැපයීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතුවල දී ඇතිවන ආර්ථිකමය ගැටලුකාරී තත්ත්වයන් සඳහා සහනයක් සැලසීම යන අරමුණු ද ඇතිව ක්‍රීඩා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද 2025 ජාතික පාසල් ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණ පදනම් කරගනිමින්, ජාතික ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව සහ පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ පදනම් කරගනිමින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සිදුකර තිබේ.

අමතර තෝරාගැනීමේ ක්‍රමවේදයක් ලෙස ජාත්‍යන්තර තරගාවලියෙහි ප්‍රථම දෙවන හා තෙවන ස්ථාන දිනාගත් කණ්ඩායම් ඉසව් සහ තනි ඉසව් හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා තේරීම් කමිටු නිර්දේශය මත ක්‍රීඩා ශක්ති වැඩසටහන සඳහා සුදුසුකම් ලබාදීම සිදුකර තිබේ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් දුෂ්කරතාවයක් හෝ ක්‍රීඩා උපකරණවල අඩුපාඩුවක් ඇත්නම් ඒ පිළිබඳව සෘජුව අමාත්‍යාංශය වෙත දන්වා සිටින ලෙසයි. එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අමාත්‍යාංශය සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ක්‍රීඩාශීලී පුරවැසියෙක් නිර්මාණය කිරීමේ අරමුණු සහිතව පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මග පෙන්වීම් සිදුකිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ ගිය වසරේදී මෙම දීමනාව ලබාදුන්නේ 760 දෙනෙකු සඳහා බවත්, එම ප්‍රමාණය මෙන් දෙගුණයකට මේ වසරේ දී ලබාදෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හේන්නායක මහතා පැවසුවේ, මෙරට ක්‍රීඩාව නගා සිටුවීමට නම් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අත්වැලක් ලබාදීම අත්‍යවශ්‍ය බවයි. ආර්ථික අපහසුතා හේතුවෙන් කිසිදු ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් පසුපසට නොයා යුතු බවත්, පාසල් ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීමේ අරමුණින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.