ජාතික පරිසර සතියේ තෙවැනි දිනය අදයි

ජාතික පරිසර සතියේ තෙවැනි දිනය අදයි
  • SocialShare:

ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක ජාතික පරිසර සතියේ තෙවැනි දිනය අදට (01) යෙදී තිබෙන අතර, අද දිනය දේශගුණික විපර්යාස සහ වායු දූෂණයේ බලපෑම් අවම කිරීමේ ප්‍රවර්ධන දිනය” ලෙස නම් කර තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාම, අකාලයේ ඇදහැලෙන අධික වර්ෂාපතනය, දැඩි නියඟ තත්ත්වයන් සහ අසාමාන්‍ය කාලගුණික වෙනස්කම් ලොව පුරා වාර්තා වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

අදට යෙදෙන දේශගුණික විපර්යාස සහ වායු දූෂණයේ බලපෑම් අවම කිරීමේ ප්‍රවර්ධන දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. ඒ අනුව දේශගුණික විපර්යාස හා වායු දූෂණයේ බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ වැඩසටහනක් අද පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

එමෙන්ම රාජ්‍ය ආයතන හරිතකරණය කිරීමේ අරමුණින් පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම, අනවශ්‍ය බලශක්ති හා කඩදාසි පරිභෝජනය සීමා කිරීම සහ ඩිජිටල් ක්‍රමවේද වෙත මාරුවීම සඳහා විශේෂ චක්‍රලේඛ උපදෙස් මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නිසි අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වෙමු” යන තේමාව යටතේ කෙටි වීඩියෝ තරගාවලියක් අද සිට නිල වශයෙන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ.

තවද හෙටට යෙදෙන ජෛව විවිධත්ව දිනයට සමගාමීව දියවන්නා ඔය සංරක්ෂණය සඳහා විශේෂ පාර්ශ්වකරුවන්ගේ වැඩසටහනක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා මූලික පියවර රැසක් ද අද ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

දේශගුණික විපර්යාස හා වායු දූෂණයේ බලපෑම් අවම කිරීම සඳහා වායු දූෂණය පාලනය කිරීම, පොදු ප්‍රවාහන සේවා වැඩි වශයෙන් භාවිත කිරීම, අනවශ්‍ය ඉන්ධන දහනයෙන් වැළකීම සහ ශක්ති පරිභෝජනය අවම කිරීම වැනි පරිසර හිතකාමී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

දේශගුණ විපර්යාස සඳහා අදම ක්‍රියාකරමු” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම දිනය මගින් පෘථිවිය සුරැකීම සඳහා පුද්ගලික හා සමාජීය වගකීම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ.