වෙසක් පොහොය නිමිත්තෙන් ජාතික යොවුන් සේනාංකයෙන් වැඩසටහන් රැසක්

වෙසක් පොහොය නිමිත්තෙන් ජාතික යොවුන් සේනාංකයෙන් වැඩසටහන් රැසක්
  • SocialShare:

වෙසක් පොහොය නිමිත්තෙන් ජාතික යොවුන් සේනාංකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “යොවුන් බැති ගී සරණිය 2026” සහ අයිස්ක්‍රීම් දන්සැල ජාතික යොවුන් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර මහතා සහභාගී විය. ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බී. ඒ. ගාමිණී වික්‍රමපාල මහතාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ සහ සභාපති නලින් රදම්පල මහතාගේ මැදිහත්වීමෙන්, මූලස්ථාන කාර්ය මණ්ඩලයේ ශ්‍රමදායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

බස්නාහිර පළාත් අධ්‍යක්ෂවරයාගේ ද සහයෝගය හිමි වූ මෙම වැඩසටහනේ බැති ගී ගායනා ජාතික යොවුන් සේනාංකයේ යක්කල සෞන්දර්ය පුහුණු පාසලේ සෞන්දර්ය උපදේශකයින් සහ පුහුණුලාභීන් විසින් අලංකාරවත් ලෙස ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

මීට සමගාමීව, ජාතික යොවුන් සේනාංකය පළාත් මට්ටමින් ද වෙසක් උත්සවය වෙනුවෙන් පින්කම් මාලාවක් සංවිධානය කර තිබූ අතර, පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, පළාත් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල සහ පුහුණුලාභීන්ගේ සහභාගිත්වයෙන් එම වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව දන්සැල් 34ක්, ධර්ම දේශනා සහ කවි බණ වැඩසටහන් 44ක්, වෙසක් කූඩු හා සැරසිලි කලාප 43ක්, බැති ගී සරණි 6ක්, ලේ දන්දීමේ කඳවුරු සහ ශ්‍රමදාන වැඩසටහන් රැසක් සංවිධානය කරමින් තරුණ පරපුර දහමට නැඹුරු කිරීමේ අරමුණින් ජාතික හා ආගමික මෙහෙවරක් ඉටු කිරීමට ජාතික යොවුන් සේනාංකය සමත් විය.