අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට

අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට
  • SocialShare:

කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේ දී ම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝගැෆි යන්ත්‍ර  (Mammography Machines) 05 ක් දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් 05 ක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ මෙම යන්ත්‍ර ලබාදීම සිදුකරයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, නුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන රෝහල් තුළින් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම මැමෝග්‍රැෆි යන්ත්‍ර ලබාදීමට නියමිත අතර, මෙම එක් මැමෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153 කි. සමස්ත උපකරණවල මුළු වටිනාකම රුපියල් මිලියන 765 ක් වේ.

‍සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත.

මෙම වැඩපිළිවෙළට අමතරව හදිසි අවශ්‍යතාවය මත ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් 02 සඳහා ද භාවිතා කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

දැනට මැමෝග්‍රැෆි යන්ත්‍ර 16ක් දිවයින පුරා සක්‍රීය සේවයේ යොදවා ඇති අතර, මෙම නව යන්ත්‍ර ලබාදීමත් සමග එම ප්‍රමාණය 23 දක්වා ඉහළ යනු ඇත.

ගාල්ල කරාපිටිය ජාතික රෝහල, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල,  පොළොන්නරුව මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, කල්මුණේ රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ආදී වශයෙන් මැමෝගැෆි යන්ත්‍ර ස්ථාපිත රෝහල් කිහිපයක් පෙන්වා දිය හැක.

රජයේ රෝහල්වල මැමෝගැෆි පරීක්ෂණ සඳහා සාමාන්‍යයෙන් සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා මේ වනවිට දීර්ඝ පොරොත්තු ලේඛන (Waiting lists) පවතී.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රෝගියෙකු ලියාපදිංචි වී දින කිහිපයක් ඇතුළත සියලුම පරීක්ෂණ අවසන් කිරීමට උපදෙස් දී තිබුණ ද, අධික රෝගීන් සංඛ්‍යාව සහ සීමිත යන්ත්‍ර පහසුකම් හේතුවෙන් මේ වනවිට බොහෝ ප්‍රමාදයන් සිදු වේ. මෙම නවීන තාක්ෂණික යන්ත්‍ර සෞඛ්‍ය පද්ධතියට එක්වීම තුළ පොරොත්තු ලේඛන අවම කර ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.