කෘෂිකර්ම අමාත්‍යවරයා සහ පකිස්තානු මහකොමසාරිස්වරයා අතර හමුවක්

කෘෂිකර්ම අමාත්‍යවරයා සහ පකිස්තානු මහකොමසාරිස්වරයා අතර හමුවක්
  • SocialShare:

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් Major General Dr Nayyar Naseer මහතා අතර හමුවක් ඊයේ (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ පකිස්තානු මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ Pakistan යන දෙරටම කෘෂිකාර්මික රටවල් වන බැවින් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සහ ආහාර සුරක්ෂිතතා ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීමට විශාල හැකියාවක් පවතින බව පැවසීය.

සත්ව නිෂ්පාදනය සහ කිරි නිෂ්පාදනය අතින් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක පකිස්තානය පවතින බවත් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහය ලබාදීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය. සීනි, එළවළු, පලතුරු සහ උසස් තත්ත්වයේ බාස්මතී සහල් ප්‍රභේද පිළිබඳව ද මහකොමසාරිස්වරයා විශේෂයෙන් සඳහන් කළේය.

2010 වසරේ සිට පකිස්තානයේ කෘෂිකර්ම අමාත්‍යාංශය “ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය” ලෙස නම් කර ඇති බවත්, ජල හිඟයකට වඩා ජල කළමනාකරණ ගැටලු කෘෂිකර්මාන්තයට බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ජුනි මස අගදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරියගේ පකිස්තාන සංචාරය සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයාට ද එක්වන ලෙසත් පකිස්තානයේ විශිෂ්ටතා කේන්ද්‍ර සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන නිරීක්ෂණය කිරීමට පැමිණෙන ලෙසත් ඔහු ආරාධනා කළේය.

දෙරට අතර 2010 වසරේදී අවසන් වරට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව සඳහන් කළ මහකොමසාරිස්වරයා, පොල්, අන්නාසි, සත්ව නිෂ්පාදනය සහ ධාරිතා සංවර්ධනය වැනි ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, පකිස්තානය කෘෂිකර්මය “ආහාර සුරක්ෂිතතා” සංකල්පය යටතේ සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවට ද වැදගත් ආදර්ශයක් බව පැවසුවේය.

ශ්‍රී ලංකාව තුළ ද ජල හිඟයක් නොව ජල කළමනාකරණ ගැටලුවක් පවතින බව ඔහු පැවසීය. දේශපාලනික වාසි අපේක්ෂාවකින් තොරව ශ්‍රී ලංකාවට සහය ලබාදීම සම්බන්ධයෙන් පකිස්තානයට අමාත්‍ය්‍යවරයා ස්තූතිය පළ කළේය.

පකිස්තානය සමඟ නව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඉදිරියේදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.