ගොඩනගමු- අධිෂ්ඨානයේ සංහිඳ වැඩසටහන යටතේ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ ඇරඹෙයි

ගොඩනගමු- අධිෂ්ඨානයේ සංහිඳ වැඩසටහන යටතේ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ  ඇරඹෙයි
  • SocialShare:

පසුගියදා බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත්  ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක, "ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ" සුවිශේෂ  වැඩසටහන යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (මැයි 24) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

 බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පූර්ණ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ස්වභාවික විපත් හේතුවෙන් ජනතාවගේ ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථාන බඳු වූ ආගමික ස්ථානවලට සිදුව ඇති හානිය කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් මෙම සමස්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන අසූවක (රු. මිලියන 80) මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන මහතා සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම්තුමන්  ඇතුළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීහු සහ ප්‍රදේශවාසී සැදැහැවත් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.