ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ දශක නවයකට අධික කලා ජීවිතය ඇගයීමට ලක් කරමින් සංවිධානය කළ “නීල නුවන්” ප්‍රණාම ප්‍රසංගය ඊයේ (07) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා එක්ව සිටියහ.
දේවානන්ද වෛද්‍යසේකර මහතා කලා ක්ෂේත්‍රයට සිදු කළ අමිල මෙහෙවර අගය කරමින් සමරු ඵලක ප්‍රදානය ද මෙහිදී සිදු කෙරුණු අතර, කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් හා විද්වතුන් රැසක්ද එතුමාගේ කලා දායකත්වය ඇගයීමට ලක් කළහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, වෘත්තීය වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ දේවානන්ද වෛද්‍යසේකර මහතා ගීතය නමැති ඖෂධයෙන් පරම්පරා ගණනාවක රසික හදවත් සුවපත් කළ කලාකරුවෙකු බවයි. මෙවැනි කලාකරුවන් ජාතික සම්පත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැරණි සංස්කෘතික බලකණු උපහාරයට ලක් කිරීමේ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක වන බවයි. ආචාර්ය නන්දා මාලනී සහ ආචාර්ය වික්ටර් රත්නායක යන කලාකරුවන් වෙනුවෙන් ද එවැනි ගෞරව කටයුතු සිදුකර ඇති බව ද ඔහු පැවසීය.
“නීල නුවන් මානෙල් මල්”, “සතුට විලයි සැපත මලයි” ඇතුළු අමරණීය ගීත රැසක් ගායනා කළ දේවානන්ද වෛද්‍යසේකර මහතා, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේ පසුබිම් ගායනයෙන් ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ශිල්පියෙකි. මෙරට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියෙකු ලෙස සැලකෙන එතුමා, දේශීය සංගීත ක්ෂේත්‍රයට ඉටු කළ සේවාව වෙනුවෙන් “සංගීතාභිමානී” රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.


