මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් හරහා සිදු වූ බව සැක කෙරෙන මුදල් සොරකමක් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කර ඇති බව එම අමාත්‍යංශය සඳහන්කරයි
2026 ජනවාරි මාසයේදී විදේශ මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් හඳුනාගත් අසාමාන්‍ය තොරතුරු මත, මෙම සිද්ධිය පිළිබඳව මුලින්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT) සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුම් දී ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙතද පැමිණිලි කිරීම සිදුකර තිබේ. එසේම, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙතද මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළව අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල මත නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද අමාත්‍යංශය කියා සිටී.
තවද, දැනට සිදු වන විමර්ශන සඳහා අවශ්‍ය සියලු සහාය සහ තොරතුරු අදාළ ආයතන වෙත ලබාදීමට අමාත්‍යංශය කටයුතු කරමින් පවතින අතර, විමර්ශන කටයුතු අවසන් වන තෙක් එයට බාධාවක් නොවන ලෙස වැඩිදුර තොරතුරු පසුව නිකුත් කිරීමට නියමිත බවද දැනුම් දෙයි.
ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් හා එකඟතාවන්ට අනුකූලව, අදාළ පාර්ශවයන් සමඟ සම්බන්ධීකරණයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.


