සිවිල් ගුවන්සේවා පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි ඉන්ධන පවතිනවා - සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්

සිවිල් ගුවන්සේවා පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි ඉන්ධන පවතිනවා - සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්
  • SocialShare:

දේශීය සහ විදේශීය ගුවන්ගමන් සඳහා ප්‍රමාණවත් පරිදි ගුවන් යානා ඉන්ධන පවතින බවත් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ පසුගිය සති කිහිපය තුළ දේශීය සහ විදේශීය ගුවන් සමාගම්වලට සියයට 55 – 60ක් පැවති බලපෑම් තත්වය මේ වනවිට සියයට 30-35 දක්වා අඩුවී ඇති බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් , ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද ( 29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
මේ වනවිට මැදපෙරදිග බොහෝ රටවල්වලට නියමිත ගුවන්ගමන් කාලසටහනට අනුව ක්‍රියාත්මක අතර සමහර රටවල් සඳහා තවමත් ගුවන්ගමන් ක්‍රියාත්මක නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම Jet A 1 සහ Avgas ගුවන් යානා ඉන්ධන ලෙස භාවිත කරන බව පෙන්වා දුන් ඒ මහතා ඉන්ධන අර්බුදය ආරම්භ වූ කාලයේදී සිවිල් ගුවන් සේවා අධිකාරිය ඒ සඳහා කමිටුවක් පත් කළ අතර මේ වනවිට ඛණිජ තෙල් නිතිගත සංස්ථාව සතුව මෙට්‍රික් ටොන් 34,000ක සංචිතයක් පවතින බවත් පැවසීය.එසේම මෙට්‍රික් ටොන් 15,000ක් පිරිපහදුවලින් ලබා ගන්නා බවත් මෙට්‍රාක් ටොන් 43,000ක් ඇණවුම් කර ඇති බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන භාවිතයේ සාමාන්‍ය අගය මෙට්‍රික් ටොන් 1600ක් බවත් ඒ අනුව දින 57ක් සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන සංචිත පවතින බවත් පෙන්වා දුන් ඒ මහතා පවතින ඉන්ධන තොගයට අමතරව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 35,000ක ඉන්ධන තොගයක් දිවයිනට ළඟා වූ බවත් පැවසීය.
එසේම මෙට්‍රික් ටොන් 8000ක් රැගත් තවත් නෞකාවක් අප්‍රේල් 2වැනි දින දිවයිනට ළඟා වීමට නියමිත බවත් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර තවත් ඉන්ධන තොගයක් ඇණවුම් කර ඇති බවද සඳහන් කළේය.ඒ අනුව සිවිල් ගුවන්සේවා පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි ඉන්ධන පවතින බවද හෙතෙම අවධාරණය කළේය.
තවද සැහැල්ලු ගුවන්යානා සදහා භාවිත කරන ඇව්ගෑස් බැරල් 271 මේ වන විට පවතින බව සඳහන් කළ ඒ මහතා එම ඉන්ධනවල දෛනික අවශ්‍යතාවය බැරල් 3ක් බවත් දින 107කට ප්‍රමාණවත් ලෙස එම ඉන්ධන සංචිත පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.එසේම බෝයින් 777 වැනි විශාල ගුවන් යානා සඳහාද ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවද ඒ මහතා පැවසීය.