අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබා දිය හැකියි - තෙල් සංස්ථා සභාපතිගෙන් සහතිකයක්

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබා දිය හැකියි - තෙල් සංස්ථා සභාපතිගෙන් සහතිකයක්
  • SocialShare:

ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව අඛන්ඩ ඉන්ධන සැපයුමක් ලබා දිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ.ඒ.එස්. ද. එස්. රාජකරුණා මහතා පවසයි.

අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ඔහු සඳහන් කළේ, මේ වන විට ක්ෂණික මිලදී ගැනීම් සිදු කර ඇති අතර ඉදිරියේදී තවත් ඉන්ධන නැව් කිහිපයක් මෙරටට පැමිණීමට නියමිත බවයි.

දැනටමත් දිවයිනට පැමිණ ඇති ඉන්ධන නෞකා 2ක් ගොඩබෑම් කටයුතු ආරම්භ කර ඇති අතර, ඊයේ(27) පැමිණි නෞකාවේ 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000ක් සහ 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,000 ඇතුළත් බව ඔහු සඳහන් කළේය.

හෙට (29) දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000 ක් සහ 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000 ක් රැගෙන IOC නෞකාවක් පැමිණීමට නියමිත අතර, ඩීසල් මෙට්‍රිික් ටොන් 37,000 ක් රැගෙන තවත් නෞකාවක් ද මේ වන විට දිවයිනට පැමිණ ඇත.

සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිළි කළේ, අප්‍රේල් මස පුරා තවත් ඉන්ධන නෞකා රැසක් පැමිණීමට නියමිත අතර, ඩීසල්, පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන ප්‍රමාණවත් ලෙස රටට ලැබෙන බවයි. මෙය යුධ වාතාවරණ පවතින කලාපවලින් පැමිණෙන නැව් නොවන බවද ඔහු අවධාරණය කළේය.

තවද, ලියාපදිංචි සැපයුම්කරුවන්ට අමතරව අනෙකුත් පාර්ශවවලින්ද ඉන්ධන නෞකා ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේදී ඉන්ධන සම්බන්ධ ගැටලු සහ තෙල් කෝටා සඳහා අනුමැතිය ලබාදීමට බලශක්ති අමාත්‍යංශය යටතේ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ

මුල් දින කිහිපයේදී තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට පැවති සැකය හේතුවෙන් ජනතාව ඉන්ධන එක්රැස් කළ බවත්, ඒ නිසා තෙල් පෝළිම් ඇතිවූ බවද ඔහු සදහන් කළේය. ඔත්තේ-ඉරට්ටේ දින ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් පෝළිම් අඩු කිරීමට හැකි වූ බවද සභාපතිවරයා පැවසීය.